Patient-31 නොහොත් 31 වැනි රෝගියා
Patient-31 නොහොත් 31 වැනි රෝගියා

Patient-31 නොහොත් 31 වැනි රෝගියා

2020, Apr 06    

මේක චිත්‍රපටියක්වත්, ප්‍රොජෙක්ට් එකක්වත් නෙවෙයි. හිතුවක්කාර ගැහැනියක් මුළු රටක්ම මූසල කරපු කතන්තරයක් තමයි Patient 31 කියන්නේ.

ඔයාලට මතක ඇති ලංකාවෙත් මෑතකාලීන සිදුවීමක් වුණා රාගම රෝහලේ. කොරෝනා වෛරසය ඇඟ ඇතුළේ තියාගෙන පපුවේ අමාරුවක් කියලා බොරු කියලා ඉස්පිරිතාලේ ගිහින් නැවතිලා බෙහෙත් අරන් පස්සේ එතන සියලුම ⁣වෛද්‍යවරුන් සහ හෙදියන්ට රෝගය බෝකරපු පුද්ගලයෙක් ගැන. ඒකත් එක්තරා විදිහකට මූසල ක්‍රියාවක් තමයි.

මේ වෛරස් එක නිසා ලෝකයේ රටවල්වලින් ලොකුවට බැට කාපු රටක් තමයි ද. කොරියාව. ඉතින් මේ Patient 31 කියන්නෙත් වෙන රටක ඉඳන් පාඩුවේ හිටපු රටක් මූසල කරපු වූහාන් සිට කොරියාවට පැමිණි චීන කාන්තාවක්.

ඉතින් දකුණු කොරියාවටත් මේ වසංගතය කැඳවන්න භයානක විදිහට දායක වුණ පුද්ගලයෙක් විදිහට මැයව හඳුන්වන්න පුළුවන්.

දකුණු කොරියාවෙ පළමු කොරෝනා රෝගියා වාර්තා වෙන්නේ ජනවාරි 20 වැනිදා. ඒත් වූහාන් සිට පැමිණි 35 වියැති චීන කාන්තාවක්. කෙසේවෙතත් ඇයව හඳුනාගෙන සති 4ක් යනතුරුත් කොරියාවේ සිටින්නේ ආසාධිතයන් 30 දෙනෙක් විතරයි. කොරියානු සෞඛ්‍ය අංශය ඒ වනවිටත් ඉතා සාර්ථක අන්දමින් වෛරස මැඩපත්වන්න ක්‍රියා කරමින් සිටියා.

මේ කියන භයානක කාන්තාව 61 හැවිරිදි මහළු කතක් වන අතර පසුගිය පෙබරවාරි 6 වැනිදා කොරියාවේ ඩීගු ප්‍රදේශයේදී ඇය මෝටර් රථ අනතුරකට ලක්වෙනවා. එයින් ඇති වූ කම්පනයෙන් හටගත් හිසේ කැක්කුමක් යැයි සිතා හිසේ වේදනාවට ඇය රෝහල්ගත වෙනවා. රෝහලේ සිටි දින කිහිපයේදී ඇයට කොරෝනාවේ මූලික ලක්ෂණයක් වන තද හිසේ කැක්කුම සහ උණ ගතිය හටගන්නවා. එහිදී වෛදරවරුන් උපදෙස් දෙන්නේ ඇයට කොරෝනා වෛරස පරීක්ෂණයට භාජනය වන ලෙසයි. නමුත් හිතුවක්කාර ගති මතු කරමින් ඇය එය ප්‍රතික්ෂේප කරනවා.

රෝහලෙන් පිට වී ඇය උණ විකාරයෙන්ම ජනාකීර්ණ ස්ථානවල ගැවසෙනවා. විවිධ දේව මෙහෙයන්ට සහභාගී වෙලා පොදු ස්නානය කරන ස්ථානයක නාන්නත් ඇය ගිහින් තියෙනවා.

කල් ගතවනවිට දරුණු අන්දමින් මෙම චීන කත තුළින් කොරෝනා රෝග ලක්ෂණ මතුවෙන්නට පටන්ගන්නවා. ඒ පිළිබඳ සැළකිලිමත් වූ වෛද්‍යවරුන් සමඟ රණ්ඩු වීමට පවා ඇය පෙළඹෙනවා. වෛද්‍යවරුන් සමඟ බහින්බස් වී වෙනත් රෝහලකට මාරු වී ගිය ඇය තුළ කොරෝනා වෛරසය ඇති වග එහි වෛද්‍යවරුන් පෙබරවාරි 17 වැනිදා තහවුරු කරගන්නවා. ඒ් අනුව ඇය Patient 31 බවට පත්වෙනවා.

නමුත් හිතාගන්නවත් බැරි විදිහට පාලනය වෙමින් තිබුණු වෛරසය සෞඛ්‍ය අංශ පවා අසරණ කරමින් තව තවත් ආසාධිතයන් ගණන වැඩිකර ඉහළ නගින්න පටන්ගන්නවා. ඒ Patient 31ගේ හඳුනාගැනීමත් එක්ක වීම විශේෂත්වයක්.

ඒ සියලුම රෝගීන් Patient 31 ගැවසුණු ස්ථානවලම ගැවසුණු පුද්ගලයන්. මෙයින් රෝගීන් වැඩි ගණනාවක් වන්නේ ඩීගු ප්‍රදේශයේ ඇති ප්‍රසිද්ධ දේවස්ථානයක බැතිමතුන්. එදා මෙම කාන්තාව සහභාගී වූ දේව මෙහෙයට පැමිණ සිටි සංඛ්‍යාව 9000ක් පමණ වන අතර එම පිරිසෙන් පමණක් හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 1200ක් පමණ වෙනවා.

මේ පල්ලිය ගැන කෙටි හැඳින්වීමක් කළොත් මෙහි ඉරිදා දේව මෙහෙයට පැමිණීම සියලුම දෙනාට අනිවාර්යයි කියලා තමයි ඇතැමුන් පවසන්නේ. ඒ වගේම සියලුම දෙනා එක ළඟ දණින් නැවී එකිනෙකාගේ දෑත් අල්ලා කරන විශේෂ දේව මෙහෙයකුත් මෙහි පැවැත්වෙනවා. ඒ වගේම කෙතරම් භයානක තත්ත්වයක් උඩද මුඛවාඩම් පැළඳීමත් තහනම් යනුවෙන් දැන් පල්ලියට විරුද්ධව නැගී සිටින පිරිස් පවසනවා.

නමුත් බැලූබැල්මට පල්ලියේ දේව මෙහෙයෙහි ඇති වරදක් නැත. සම්පූර්ණයෙන්ම මෙයට වගකිවයුතුව ඇත්තේ කොරෝනා වෛරසය ශරීරය තුළ දරාගෙන වෛද්‍ය උපදෙස් නොතකා මුළු රටක්ම අනතුරේ හෙළූ මෙම මහළු කත තුළය. අද ද. කොරියාවේ වෛරස් ආසාධිතයන් සංඛ්‍යාව 8961කි. මියගිය සංඛ්‍යාව 111කි. සුව වූ පුද්ගලයන් ගණන 3166කි.

ලෝකය පුරා පොකුරු වශයෙන් ව්‍යාප්ත වෙන මෙම කොරෝනාව දැන් ලෝකයෙන් අඩකටත් වඩා වසාගෙන අවසන්. අවාසනාවට බොහෝ ව්‍යාප්තවීම් සිදුවූයේ නොසැලකිලිමත්කමින් වෛද්‍ය උපදෙස් නොතකා හිතුමතේ රෝන්දෙ ගැසූ හිතුවක්කාර මිනිසුන් නිසාය. ඉතින් ඉගෙනගැනීමට බොහෝ පාඩම් ඇත. ලංකාවේද මෙම ගැහැනියගේම අච්චුවේ පුද්ගලයන් බෙහෙවින් ඇත. තවමත් ඔවුන් රහස් සඟවා අත අතරම සැරිසරනවාද විය හැක.