හැරී පොටර්ගේ නපුරු නැන්දාගේ ආද⁣ර සුනාමියට අහුවුණ ලංකාවේ සොනාලි
සොනාලි

හැරී පොටර්ගේ නපුරු නැන්දාගේ ආද⁣ර සුනාමියට අහුවුණ ලංකාවේ සොනාලි

2020, Aug 31    

මේ ලෝකයෙහි මිනිසා බිහිවීමත් සමඟ, ඔවුන්ගේ වැඩීමත් සමඟ විවාහය නමැති සංකල්පය ස්වභාවධර්මයා ලබාදුන්නේ නෑ. ඒ නිසා ඔහේ නිදහසේ ප්‍රේමය වින්ද ලෝකයට විවාහය කියලා සංකල්පයක් නිර්මාණ කළේ අපි. ඒත් ස්වභාවධර්මයා ප්‍රේමය, ස්නේහය වැනි සංකල්ප අපිට දුන්නා. ඒ සංකල්පය තුළත් ප්‍රේමයක් හටගත හැක්කේ කාන්තාව හා පිරිමියා අතර පමණකැයි යන මතය හදාගතතෙත් අපිමයි. සීමා මායිම් රහිත ප්‍රේමයට සීමා මායිම් දාගත්තේ අපි. මේ සීමාවෙන් එපිටට ගියොත් එය සදාචාර වීරෝධියි යන මත හදාගත්තේ අපි. සීමාව තුළ බංකුව හිඳගෙන ප්‍රේම කරනා ස්ත්‍රියක් සහ පිරිමියෙක් දිහා කිසිම සැකයකින් තොරව බලපු අපි සීමාවෙන් ඔබ්බට ගිහිල්ලා එවැනිම බංකුව හිඳගෙන ප්‍රේම කරන ස්ත්‍රියන් දෙදෙනකු හෝ පුරැෂයන් දෙදෙනකු දිහා බලන්නේ පිළිකුල් සහගත හැඟීමකින්. ලංකාවෙත් විෂම ලිංගික කුහක බහුතරයකට අනුව සමලිංගිකත්වය කියන්නේ මහා පරිමාණ මානසික ව්‍යාකූලතාවයක්.

නමුත් කෙදිනක හෝ ලෝක න්‍යායට අනුව මිනිසා සහ ස්වභාවධර්මයා අතර පවතින තරගයේදී මිනිසා ස්වභාවධර්මයට පැරදිය යුතුය. ඉතින් ඉස්සර හැංගි හොරා ප්‍රේම කරපු එවැනි සීමා බන්ධන බිඳ ගිය අයගේ සදාචාර විරෝධී යැයි හංවඩු ගැසූ ප්‍රේමයන් අද වෙනකොට එළිපිට ප්‍රසිද්ධියේම පිපෙන්නට අරන්. අද අපේ කතාබහත් ඒ වගේ ප්‍රසිද්ධියේ පිපුණු තහනම් ප්‍රේමයක මල් දෙකක් ගැන.

අපි කතාව මෙහෙම පටන් ගමු.

Harry Potter කිව්වම අද ලෝකෙ කවුද නොදන්නේ නේද? ලොකු කුඩා බේදයකින් තොරව සියලුම දෙනාගේ සිත් ඇඳබැඳගත් හරිම අපූරැ චිත්‍රපට පෙළක් තමයි Harry Potter කියන්නේ. අද ලිපියේ බැලූ බැල්මට ඔයාලට හිතෙයි අපි Harry Potterගෙන් කතාව පටන්ගත්තට Harry Potterට කිසිම අදාළත්වයක් නෑ කියලත්. එහෙම නෑ. ලොකු අදාළත්වයක් තියෙනවා. සමහර අයටනම් පහළ පින්තූර දැක්ක පමණින්ම මතක් වෙයි මේ කවුරැ ගැනද කතා කරන්නෙ කියලා.

ඔව්. ඔයාලට මතකද හැරී පොටර්ට හිටපු අහංකාර, නපුරැ, කරදරකාර නැන්දා Petunia Evans? එයා තමයි අද අපේ කතාවේ එක් ප්‍රධාන චරිතයක් වෙන්නේ. ඇය නමින් Fiona Shaw. ෆියෝනා කියන්නේ සමලිංගික කාන්තාවක්. ෆියෝනා වගේම ප්‍රසිද්ධ සමලිංගික නිළියන් බොහෝ සිටියත් ෆියෝනගේ අපි දකින විශේෂත්වයක් තියෙනවා.

ෆියෝනත් එක්ක ළඟින්ම අපේ රටේ කාන්තා චරිතෙකුත් ඉතාම කිට්ටුවෙන් බන්දනය වෙලා ඉන්නවා. ඇය සොනාලි දැරණියගල. කෙටියෙන්ම කිව්වොත් ෆියෝනාගේ වර්තමාන සහකාරිය තමයි සොනාලි කියන්නේ. ඉතින් අපි මේ අපූරැ චරිත දෙකේ කතාව සොනාලිගෙන්ම පටන්ගමු.

කේම්බ්‍රිජ් සහ ඔක්ස්වර්ඩ් විශ්වවිද්‍යාලවල ඉගෙනගත්ත කීර්තිමත් ආදි ශිෂ්‍යාවක් තමයි සොනාලි දැරණියගල. ඇය ආර්ථික විද්‍යාඥවරියක්. ෆියෝනාත් සොනාලිත් එක වහලක් යට ජීවිතයක් ගත කරන්න පටන්ගෙන තියෙන්නේ 2018 අවුරැද්දේ. ඒ පිළිබඳව 60 හැවිරිදි ෆියෝනා ෂෝ &මම විවාහ වුණා. මම සැමවිටම ගෘහස්ථ ජීවිතයක් ගත කළේ නෑ. නමුත් මට දැන් ගෘහස්ථ ජීවිතයක් තිබෙනවා. එය මම බෙහෙවින්ම ප්‍රිය කරනවා* යනුවෙන් ඉතාමත් සතුටින් ඔවුන් දෙදෙනා දැන් ගත කරන ජීවිතය පිළිබඳව එසේ ප්‍රකාශ කර තිබුණා.

තවමත් මේ මහ පොළව මත ඔබ කැමති රසම කෑම තවත් කෑමට ගෙන නොමැත. ඔබ ආස කරන ලස්සනම ගීතය ඔබ තවම අසා නැත. ඔබට ගැලපෙන හොඳම පුද්ගලයා ඔබට තවමත් මුණ ගැසී නැත. ඔබ වෙලී සිටිනා ප්‍රේමයට වඩා, ඔබ අසා ඇති හොඳම ගීතයට වඩා, හොඳම කෑමට වඩා හොඳම දේවල් තව ඕනතරම් මේ ලෝකෙ තියෙනවා. සොනාලිට ෆියෝනා හම්බවෙන්නේ අන්න ඒ වගේ හොඳම දේවල්, ලස්සනම දේවල් හොයාගෙන යන ජීවන සුවසැරියකදි. නමුත් ෆියෝනා හමුවෙන්න කලින් සොනාලිගේ ජීවිතෙත් ඇය හොඳම යැයි, ප්‍රේමණීයයැයි හිතාගත්තු දේවල් ස්වභාවදහම විසින්ම ඇයගෙන් උදුරගන්නවා.

ෆියෝනාත් සොනාලිත් ඔවුන්ගේ සමාගම තුළ තමන්ගේ සතුට සොයාගෙන ගියත් ආචාර්ය සොනාලි දැරණියගලගේ අතීතයේ කෙදිනකවත් අමතක කරන්නට නොහැකි ඉතාමත් අඳුරැ මතක සටහනක් තියෙනවා. 2018 වසරේදී ඇය ෆියෝනාගේ සහකාරිය වීමට පෙර 1988 වර්ෂයේදී ආර්ථික විද්‍යාඥයකු වූ ස්ටීවන් ලිසන්බර්ග්ගේ ආදරණීය බිරිඳ වෙනවා. ඔවුන්ට වික්‍රම් සහ නිඛිල් යනුවෙන් කුඩා පුතුන් දෙදෙනකු ද ලැබෙනවා.

2004 වර්ෂයේදී ඇය ඇයගේ දෙමව්පියන්, සැමියා සහ පුතුන් දෙදෙනා, හොඳම යෙහෙළිය සහ ඇයගේ මව සමඟ අමෙරිකාවේ සිට තම මවු රටට පැමිණෙන්නේ නිදහසේ නිවාඩුව ගතකරන්න හිතාගෙන. 2004 දෙසැම්බර් 24 වෙනිදා ඔවුන්ගේ චාරිකාවේ එක් සන්ධිස්ථානයක් වෙන්නේ යාල වනෝද්‍යානය. නමුත් ඔවුන් එදා සතුටින් කාලය ගෙවපු 2004 දෙසැම්බර් 24 කියන්නේ ලංකා ඉතිහාසයේ කඳුළින්ම ලියැවීමට නියමිත දිනයක් වේවි කියලා සොනාලිලා හීනෙකින්වත් හිතන්නට නැතුව ඇති. සැණින් ඈතින් මහ හඬින් ගලා ආ සුනාමි රළ පහරට හසු වුණු සොනාලි සැතපුම් කිහිපයක් දුරට විසි වී ගිහින් ගසක අත්තක රුඳෙනවා. නමුත් ඇයගේ දෙමව්පියන්ට, සැමියාට, දරැ දෙදෙනාට සහ මිතුරියට සොනාලිට තරම් වාසනාවක් තිබුණේ නෑ. ඔවුන් එදා සුනාමි සැඩ රළ පහරට අසු වී සොනාලිගේ ලෝකෙන් ඈතටම ගියා.

එම සිදුවීමෙන් පසුව නැවතත් නිව්යෝර්ක් වෙත සංක්‍රමණය වුණු සොනාලි කොලොම්බියා විශ්ව විද්‍යාලයේ බාහිර පර්යේෂණ විශාරදවරියක් වෙනවා. 2013දී ඇය ඇයගේ ජීවිතයේ අඳුරැතම මතකයක් වුණු ඇයගේ අහිමිවීම සහ සුනාමියෙන් ඇය ලද අත්දැකීම් පිළිබඳව සටහන් වෙන %වේව්^ යනුවෙන් පොතක් ද එළිදක්වනවා. ඉතින් මෙන්න මේ කියන වේව් පොතම නැවත වතාවක් සොනාලිට සතුට කැන්දනවා.

ෆියෝනා සම්මාන රුසක් දිනාගත් සොනාලිගේ පොත කියවීමෙන් අනතුරැව එහි කතුවරයාව හමුවෙන්න දැඩි කැමැත්තකින් පෙළෙනවා . මිතුරෙකුගේ මාර්ගයෙන් කෙසේ හෝ අවසානයේ මේ දෛවෝපගත කාන්තාවන් දෙදෙනා හමුවෙනවා. ඉතින් වසර කිහිපයක් යනකොට ෆියෝනාට හැකිවෙනවා සොනාලිගේ මුවින් නික්ම ගිය හිනාව නැවතත් ඇයට ලබා දෙන්න.

සුනාමිය කියන්නේ ජීවිත බොහෝ ගණනක් බිලිගත්ත මහා ඛේදවාචකයක්. තමන්ගේ දරැ පවුලම සහ දෙමව්පියන් දෙදෙනාම අහිමි වෙලත් මෙච්චර ධෛර්යසම්පන්නව අවුරැදු ගණනාවක් වේදනාව හිරකරගෙන ඉඳලා සියලුම කඳුළු පොතකින් පිටකරපු සොනාලිට ඒ පොත නිසාම ජීවිතේට ආයෙත් සුපහන් ආලෝකයක් ලැබීම සැබැවින්ම ප්‍රියජනකයි. සොනාලිට තියෙන්නේ කියවලා අවසන් කරලා පෙරළුණු පිටුවක කතාවක් නෙවෙයි. බාගෙට කියවගෙන යද්දි පිටුව කඩලා අයින් කරපු ජීවිත කතාවක්. ඒ වගේ කැඩී බිඳී විසිරැණු ජීවිතයකට නැවතත් අලුතින් ආදර කතන්දරයක් ලියන්න සොනාලිගේ පෑනට තීන්ත පුරවන්නේ ෆියෝනා. ඇයගේ මුල් ප්‍රේම අන්දරය සුනාමි අවසන් කළත් ඇයගේ ජීවිත කතාවේ තිබුණු වටිනාම චරිත තනියම අයිති කරගත්තත්, සියල්ල අහිමි වුණු සොනාලිට නැවතත් ජීවිතයක් දෙන්නේ ෆියෝනා. ඉතින් ෆියෝනා - සොනාලි ආදර අන්දරය තවමත් සෙනෙහසින් දළුලමින් වැඩෙනවා. සොනාලිව තනිනොකරන ෆියෝනාත් ඇයත් එක්කම නිරන්තරයෙන් ලංකාවට පැමිණෙනවා.