
ලෝකෙම හිත් නිවන තටු සිඳුණ සුරංගනාවී මුනිබා මසාරී
දෛවය කියන්නේ හරි පුදුමාකාර දෙයක්. ඒක මේ ලෝකෙ මිනිස්සුන්ට විවිධාකාරයෙන් බලපානවා. කෙනෙකුට උපතින්ම ලස්සන රූපයකුත් එක්ක හැකියාවන් ගොඩක් පිහිටලා තියෙනවනම් ඔහු හෝ ඇය සැබැවින්ම වාසනාවන්තයි. නමුත් ඒ අතරින් ඇතැම් අය ඉන්නවා පොහොසත් නමුත් රූපය අවලස්සන. තවත් අය ලස්සන නමුත් දුප්පත්. ඉතින් අද අපේ කතා නායිකාව උපතින්ම ලස්සනත්, දක්ෂතාවයත් දෙකම කරපින්නාගෙන ආපු අති සුන්දර තරුණියක්. නමුත් ඇය ආබාධිතයි. උපතින්මනම් නෙවෙයි. ඉතින් අන්න ඒකයි ජීවිතේ හැම හොඳ දෙයක්ම උපතින් අරන් ආවත් ඇතැම් අයට කාලයක් යනකොට දෛවය උසුළුවිසුළු කරන්නේ හරිම නින්දිත විදිහට. ඉතින් ඇයත් එහෙමයි. ලෝක ප්‍රකට ඇය ඔබගේ ජීවිතය තුළ යම් අන්ධකාරයකින් වැසී ඇත්නම් එය මද ආලෝකයකින් හෝ දුරලන්නට සඳ කිරණක් වනවා නොඅනුමානයි. පාකිස්ථානයේ $යකඩ කාන්තාව% ඇයයි.
මුනීබා මසාරි බලොච් 1987 මාර්තු 3 වැනිදා දකුණු පන්ජාබයේ රහීම් යාර් ඛාන්හි උපත ලබන්නේ පාකිස්ථාන් උර්ගු තරුණියක් ලෙසයි. බාල සහෝදරයන් දෙදෙනකු සිටන පවුලේ ඇය වැඩිමලා වෙනවා.
බලුච් පසුබිමට සහ මසාරි කියන ගෝත්‍රයට අයත් මුනිබා කුඩා කල සිට පාසල් අධ්‍යාපනය ලැබුවේ යුද හමුදා පොදු පාසලේ වන අතර වයස අවුරුදු 18දී සිය අධ්‍යාපන කටයුතු අවසන් කිරීමටත් පෙර පාකිස්ථානයේ හිටපු ගුවන් හමුදා නියමුවරයෙක් වූ කුරාම් ෂාසාඩ් සමඟ විවාහ වෙන්නට සිදුවෙනවා. මොකද මුනිබාගේ පවුල තද නීතීන්වලින් සැදුම්ලත් සාම්ප්‍රදායික පාකිස්ථාන් පවුලක් වූ නිසා පවුලේ තීරණයන්ගෙන් අවසන් තීරණය වන්නේ පියාගේ තීරණය. එනිසාම පියාගේ අණට කීකරුව මුනිබාට කුරාම්ව අඩු වයසින්ම විවාහ කරගන්නට සිදු වෙනවා.
2008 පෙබරවාරි 27 වැනිදා තමයි මුනිබා මසූරිගේ ජීවිතේම කටපිට පෙරලුණු දෛවපෝගත දවස වෙන්නේ. ඇය ඇයගේ සැමියා සමඟ ක්වේටා සිට රහීම් යාර් ඛාන් වෙත මෝටර් රථයකින් ගමන් කරමින් ඉන්න අතරේ නොසිතූ අන්දමින් ඔවුන් ගමන් ගත් මෝටර් රථය සැමියාට නින්ද යෑම හේතුවෙන් පාලනයකින් තොරව අනතුරකට මුහුණ පානවා. කන්දකින් පහළට පෙරළිලා ගිය රථයෙන් කුරාම් කෙසේ හෝ එළියට පැනගත්තත් මුනීබාව එළියට ගැනීම ඉතාමත් අසීරු කාරණාවක් බවට පත්වෙනවා. කෙසේ හෝ හදිසි අංශ අමතා ඔවුන්ගේ ආධාර සහිතව ඔවුන් මුනිබාව මෝටර් රථයෙන් බැහැර කැරගැනීමට සමත් වුණා.
නමුත් ඒ වනවිටත් ඇයගේ අතේ අස්ථි, ඉළ ඇට, උරහිස් තලය සහ කොඳු ඇට පෙළට දරුණු ලෙස හානි සිදුවෙලා තමයි තිබුණේ. අනතුරේ තරම කෙතරම්ද කියවනම් ඇයගේ පෙනහළු සහ අක්මාවටද අභ්‍යන්තරයෙන් කැපී තිබුණු බව තමයි වෛද්‍යවරුන් පවසා සිටියේ. ඇයගේ තත්ත්වය අසාධ්‍ය නිසා අසල පිහිටි කුඩා රෝහලකට ඉක්මණින් ගෙන ගිය පසුව එයින් රහීම් යාර් ඛාන්හි රෝහලකටත් එයිනුත් බරපතළ තත්ත්වය හේතුකොටගෙන කරච්චිහි අගා ඛාන් රෝහලටත් මාරු කර යවා පශ්චාත් ශල්‍යකර්මයක් සිදු කරනවා.
ශල්‍යකර්මයෙන් පසුව මුනිබාට වසර දෙකක් ගිලන් ඇඳක නිසොල්මනේ වැතිර සිටින්නට සිදුවෙනවා. කාලයක් යනකොට වෛද්‍යවරු මුනිබාට භෞත චිකිත්සාව ආරම්භ කරනවා. එයින් ඇයට රෝද පුටුවක් භාවිතා කිරීමට තරම් සුවයක් ලබාගැනීමට හැකි වුණත්, ඇයගේ අලුත පටන්ගත් සුන්දර ජීවිතය සදාකාලිකව අංශබාග තත්ත්වයට පත්වී රෝද පුටුවකට සීමා කරන්නට සිදු වෙනවා.
තුවාල සඳහා කළ ප්‍රතිකාරවලින් පසුව මුනීබා රාවල්පිණ්ඩි වෙත යන්නේ එතැන් පටන් ඇයව රැකබලාගැනීමේ කාර්යය ඇයගේ මවට පැවරෙමින්. අවසානයේදී ඇය නැවතත් තම පවුල වෙත පැමිණීම හේතුවෙන් මව්පියන්ගේ දික්කසාදයටත් වග කියන්නට මුනීබාට සිදුවෙනවා. ඉතින් මේ සියලුම ඛේදජනකයන් වෙනකොට ඇය විසි එක් හැවිරිදි සොඳුරු යොවුන් වියේ පසුවන්නියක්.
කෙසේ හෝ කාලයක් යනවිට ඇයගේ ආබාධිත තත්ත්වය හේතුවෙන් මුනිබාගේ සහ කුරාම්ගේ දික්කසාදයත් සිදුවෙනවා. නමුත් එයින් මුනිබාගේ හිත විශාල සැහැල්ලුවකින් පිරී පිරෙනවා. ඉන්පසු කුරාම්ගේ දෙවැනි විවාහටයත් සුබ පතා පණිවිඩයක් යවන්න තරම් ඇය සුබවාදී වෙනවා. දික්කසාදයෙන් පසු ඇය රෝද පුටුවටම සීමා නොවූ අලුත් ජීවිතයක් ගතකරන්නට අධිෂ්ඨාන කරගන්නවා.
අනතුරින් වසර හතරක් නික්ම යෑමෙන් පසු ඇයට දරුවකුගේ අවශ්‍යතාවය තදින්ම දැනෙන්න පටන්ගත්තත් ඇයට දරුවකු පිළිසිඳගැනීමට නොහැකි බව ඇය දැන සිටියා. එනිසා ඇය අසරණ දරුවන් බලාගන්නා සංවිධානයක ලියාපදිංචි වෙන්නේ කවදා හෝ දරුවෙකුගේ ආසාවත් ඉෂ්ඨ කරගන්නා බලාපොරොත්තුවෙන්.
🙶මට දිනක් සංවිධානයෙන් ඇමතුමක් ආවා කුඩා පිරිමි දරුවකු සංවිධානය තුළ ඉන්නවා. ඔහුව මට ගැලපෙනවනම් හදාගන්න දෙන්නම් කියලා. ඇමතුම ආව ගමන්ම මම එහි ගියා. නමුත් ගියාට පස්සේ එතන අය මගේ දිහා ගොඩක් වෙලා බලන් හිටියා. මම බය වුණා මගේ තත්ත්වය එක්ක දරුවා ලැබෙන එකක් නෑ කියලා. නමුත් අන්තිමේදි ඔවුන් කිව්වා මෙයාට ගැලපෙනම අම්මා මම තමයි කියලා.🙷 මුනිබා ඇයගේ එක් ආසාවක් ඉටු වූ ආකාරය එසේ පැහැදිලි කරන්නීය. අද නීල් නැමැති සුරතල් පුතු නිසා ඇය තිස්තුන් හැවිරිදි එක් දරු මවකි.
තමන්ට දෙවියන් විසින් ලබාදුන් ජීවිතය දෙවියන්ටම උවමනා ආකාරයට පාලනය කිරීමට නොදී ඇය විවිධ දේ සඳහා යොමුවීමට කාලය වැය කරන්න පටන්ගන්නවා. චිත්‍ර කලාවට ඇය නැඹුරු වුණේ ලෙඩ ඇඳේ සිටිද්දිමයි. දෙවියන් ඇය වෙනුවෙන් නිර්මාණය කර තිබුණේ මොන තරම් අපූරු සැලැස්මක්ද.. එලෙසම ඇය රෝද පුටුවෙන් දෙවැනි උපතක් ලබනවා.
එලෙස නැඹුරු වූ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ජනතාවගේ ආකර්ෂණය දිනාගත් ඇය අද දක්ෂ චිත්‍ර ශිල්පිණියක්. නිරූපිකාවක්. ගායිකාවක් වගේම බොහෝ සෘණාත්මක මිනිසුන් ඉදිරියේ අද ඇය සුප්‍රසිද්ධ අභිප්‍රේරණ කථිකයෙක්ද වෙනවා.
ලෝක ප්‍රකට රූපලාවන්‍ය සන්නාමයක් වන $පොන්ඩ්ස්% විසින් ඇය යුගයේ ආශ්චර්මයත්ම කාන්තාව ලෙස නම් කරනවා. ඒ ඇයගේ නොපසුබට උත්සාහයන් සහ එයින් ලබාගත් ජයග්‍රහණයන් හේතුවෙන්. ජාත්‍යන්තර කොණ්ඩා මෝස්තර රූපලාවන්‍යාගාරයක් වන ටෝනි ඇන්ඩ් ගයි විසින් ආසියාවේ ප්‍රථම වරට රෝද පුටුවෙන් මෝස්තර මවන නිරූපිකාව ලෙසට ද මුනිබාව හැඳින්වනවා.
මුනීබා පාකිස්ථානයේ දේශප්‍රේමය සහ එක්සත්කම පිළිබඳ හැඟීම් පතුරුවා හැරීමේ $දිල් සේ% නම් වැඩසටහනේ ප්‍රධාන සාමාජිකාවකි. පාකිස්ථානයේ ප්‍රථම ජාතික තරුණ කවුන්සිලයේ කොටස්කාරියක් ලෙස වත්මන් පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් විසින් 2019දී මාසයේදී මුනිබාව පත් කරනු ලබනවා. එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානයේ පකිස්ථාන තානාපතිනියද ඇයයි.
ඉතින් කුඩා කල පටන්ම සීමා බන්ධනයන්ගෙන් පිරුණු ලොවක සැරිසැරූ ඇය අද ඇයගේ තටු කැඩුණත් කෙසේ හෝ තටු විදහා ඉගිල්ලෙන්නට නොපසුබට උත්සාහයක නියැලෙන ශක්තිමත් කාන්තාවක්.
ගතින් ශක්තිමත් නොවුණත් සිතින් ශක්තිමත් විය හැකිනම් ඕනෑම කෙනකුට ලොව දිනන එක මහ ලොකු දෙයක්නම් නෙවෙයි. අද මුනිබා විශාල ධනස්කන්ධයකට හිමිකම් කියන මුළු පාකිස්ථානයේම ජනාදරයට පත් ප්‍රසිද්ධ කාන්තාවක්. ආබාධිත වුවත් ඇය වැනිම ආබාධිතයන් සොයා ගොස් ඔවුන්ට ජීවිතය දිනන්නට මග පෙන්වන ඇයට ලබන ආත්මකදීනම් පොහොසත්කම, රූමත්කම, විවිධ හැකියාවන් සියල්ලක්ගෙන්ම පිරිපුන් අංගසම්පූර්ණ ජීවිතයක් හිමිවේවි.
ඉතින් ඇයගේ අභිප්‍රේරණය පිරුණු වදනකින්ම මම අද මෙම ලිපිය අවසන් කරන්නම්.
🙶ජීවිතය ඔබ දෙසට දෙහි ගෙඩියක් විසි කළහොත් ඔබ එයින් ලෙමනේඩ් සාදාගැනීම මිස දෙහි ගෙඩි විසිකිරීම පිළිබඳව ජීවිතයට බැණ වැදීම නොකළ යුුතුයි. ඔබ බිය වීම සහ හඬා වැටීම සාධාරණයි. නමුත් ඔබ අත්නොහැරිය යුතුයි. මේ ලෝකයේ කිසිම කෙනෙක් පරිපූර්ණ නෑ. නමුත් ඔබට තවකෙකුට උපකාර කළ හැකිනම් ඔබ නිසා තවකෙකු සිනහා වෙනවානම් ඔබ සැබැවින්ම පරිපූර්ණයි.