රෝහිත ජයලත් (ජය ශ්‍රී)
රෝහිත ජයලත් (ජය ශ්‍රී)

රෝහිත ජයලත් (ජය ශ්‍රී)

2020, Jun 14    

රෝහිත කොහොමද මේ දවස්වල ලංකාවේ ගෙදරටම හිර වෙලා ගෙවන ජීවිතේ?

මේ දවස්වල මොනවා කරන්නද ඉතින් ගෙදරටම වෙලා ඉන්නවා. කොහෙවත් යන්නත් බෑනේ. ලයිව් ඇවිත් සින්දුවක් කියලා රසිකයන් පිනවමින් ඉන්නවා.

ජය ශ්‍රීලත් හදිස්සියේ ලංකාවට ආවේ කොරෝනාට බයේද?

අනේ කොහෙත්ම නෑ. අපි කොහොමත් හැම අවුරුද්දෙම සීසන් එකට ලංකාවට එනවා. මේ පාර වේලාසනින් ආවා. මොකද ඕස්ට්‍රේලියා ටුවර් එකක් තිබුණා Line one එක්ක. තවත් ලංකාවේ වැඩ වගයකුත් තිබුණා. ඉතින් ඒ නිසා වේලාසනින්ම ආවා. අනික රොහාන්ක කලින් මම ආවේ.

ලංකාවේ නිරෝධායන කටයුතුවලට දක්වපු සහයෝගය කොහොමද?

මම ආවේ වේලාසනින් නිසා ඒ කාලේ ලංකාවේ භයානක වාතාවරණයක් තිබුණේ නැහැ. ඒත් රොහාන් ආවේ ටිකක් පරක්කු වෙලා. හරියටම මෙහෙ ගුවන් ගමන් නවත්තපු දවසේ. රොහාන්නම් ලෑස්ති පිටම ආවේ නිරෝධායනයට යන්න. නමුත් ඔස්ට්‍රියාවෙන් ආපු නිසා එයාලව කෙළින්ම යවලා තිබුණා නිවෙස්වලම නිරෝධායනය වෙන්න. රොහානුත් ගෙදර ආවට පස්සේ අපි පොලීසියට කෝල් කරලා අපි ගැන දැන්වුවා. ඉන්පස්සේ සෞඛ්‍ය නිලධාරීන් අපේ ගෙදර ආවා. ඒ ඇවිත් එයාලම කිව්වා ගොඩක් රට ගිහින් ආපු අය හොරට හැංගිලා ඉන්න නිසා ෆේස්බුක් හැමෝටම පේන්න ලයිව් වීඩියෝ එකක් දාමු කියලා එයාලා එක්කම. ඒක වෛරල් එකක් වෙලා නිව්ස්වලටත් ගිහින් තිබුණා. කොහොමහරි අපි නියමිත කාලයටත් වඩා වැඩි කාලයක් ස්වයංව නිරෝධායනය වුණා.

නිරෝධායනය අතරේ දෙන්නා බොහෝ අවස්ථාවල ලයිව් ඇවිත් සින්දු එහෙමත් කියලා ගියා නේද?

අනේ ඔව් ඉතින් නිකන් ඉන්න එකේ අපි ‍එහෙම සින්දුවක් කියලා සන්තෝසයක් ලබනවා. ෆේස්බුක් එකේ ගොඩක් දෙනා කියනවා ලයිව් ඇවිත් සින්දුවක් කියන්න කියලා. රොහාන් එළවළු පාත්තියේ වැඩ කරනවා. මම එයා ඉන්න තැනට ගිහින් එයා එක්කම සින්දුවක් කියනවා. රොහාන්ටනම් එළවළු පාත්තියක් සහ බොන්සායි එකතුවක් තියෙනවා. අම්මයි අපි දෙන්නයි විතරයි ගෙදර ඉන්නෙත්. අපේ ගෙදර තියෙන්නේ ලොකු වත්තක් මැද්දේ. ඇත්තටම ගොඩක් වාසනාවන්තයි එහෙම පරිසරයක ඉන්න ලැබිච්ච එකත්. මේ කාලෙනම් ගොඩක්ම වටිනවා. මොකද උවමනා දෙයක් වවන් කන්න ඉඩ තියෙනවා. මමනම් හිතන්නේ මේ කාලය තමයි කෙනෙක්ගේ විශේෂ කුසලතාවයක් තියෙනවනම් එළියට දාන්න ඕන කාලය. මම ගෘහ නිර්මාණ ශිල්පියෙක්. ඉතින් මමත් මේ දවස්වල එක එක කෑලි එකතු කරලා රොබෝ කෙනෙක් හදනවා. මේ කාල සීමාව ඉවර වුණ ගමන් හොඳ පෑස්සුම්කරුවෙක් හොයාගන්න ඕන. ඉතින් මේ වගේ විනෝදාංශ කිහිපයක්ම තියෙනවා. මේ වසංගත තත්ත්වය කොච්චර කාලයක් තියේවිද කියන්න බෑ. ඉතින් ගෙදර ඉන්න කාලේ මේ දේවල්වලට මුල්තැනක් දෙනවා.

ඔස්ට්‍රියාවේ ගෙවන ජීවිතේ මොන වගේද?

අප්‍රේල් ඉවර වුණාට පස්සේ ඔස්ට්‍රියාවට පටන්ගන්නේ ගිම්හාන කාලේ. ගිම්හානය කියන්නේ අපිට ගොඩක් වැඩ වැඩියි. ජය ශ්‍රී බෑන්ඩ් එකේ අපි හත්දෙනා එක්ක පුහුණුවීම් තියෙනවා. ගිම්හාන කාලෙට විශේෂිත උත්සවවලට සහභාගී වෙනවා. ඊට අමතරව එහෙදිත් මම මේ ගෘහ නිර්මාණ කටයුතු කළා. නමුත් සංගීත වැඩකටයුතු එක්ක මට කාර්යාලයට ගිහින් ඒවා කරන්න ලැබුණේ පොඩි වෙලාවයි. ඉතින් ඒ නිසා දැන් රස්සාව විනෝදාංශය වෙලා විනෝදාංශය රස්සාව වෙලා තියෙන්නේ.

මේ සියලු දේවල් අතරේ ජයශ්‍රී නිවුන්නුන්ගේ සහයෝගීතාවයත් හරිම සුන්දරයි.

අපි දෙන්නගෙන් මම තමයි වැඩිමලා. නමුත් පුංචි කාලේ ඉඳන්ම අයියා මල්ලි කියන ලේබල් එක නැතුව යාළුවෝ වගේ අපි දෙන්නා ඉන්නේ. මගේ වැරැද්දක් දැක්කොත් එයා කියනවා. එයාගේ වැරැද්දක් දැක්කොත් මම කියනවා. කවදාවත් අයියේ, මල්ලි කියලවත් අද වෙනකල් කතා කරලා නෑ. ඒක ඇත්තටම පහසුයි. මොකද ඕනම ප්‍රශ්නයක් අපි දෙන්නට එකට කතාබහ කරලා සහයෝගයෙන් විසඳගන්න පුළුවන්. දැන් බෑන්ඩ් එක පටන් අරගෙනත් අවුරුදු විස්සක් වගේ. ඉතින් දෙන්නා එක්ක ලෝකෙ වටේ ඇවිදින්න යනවා. ඒ වගේම හරිම සතුටින් සහෝදරයෝ දෙන්නා අම්මත් එක්ක ජීවිතේ ඉස්සරහට යනවා.

මේ කොරෝනා වසංගතයෙන් කාර්යබහුල ජයශ්‍රීලගේ ප්‍රසංග එහෙමත් අවලංගු වෙන්න ඇති?

ඔව්. ප්‍රසංග කිහිපයක්ම තිබුණා සහභාගී වෙන්න. අප්‍රේල් දෙවැනිදා තමයි අපේ ඕස්ට්‍රේලියා සංචාරය යෙදිලා තිබුණේ. ඒ සියල්ලම අවලංගු වුණා. තාමත් හිතාගන්න බෑ මේ ලෝකෙට එකපාරම වුණේ මොකද්ද කියලා. නමුත් සල්ලි පොකුරුවලට වඩා මේ වෙලාවේ වටින්නේ ගෙවල්වලට වෙලා නිරෝගීව සිටිමින් මෙම වෛරසය පැතිරීම වළක්වා ගන්න එකයි.

අලුතෙන් නිර්මාණ කිහිපයක් කළා නේද?

ඔව්. අලුතෙන් LOVE කියලා ගීත පහළොවක ඇල්බමයක් නිකුත් කළා. තව රයිනි චාරුකා එක්ක අලුත් රෙගේ ගීතයක් කළා හදවත කීරි ගසයි කියලා. දැන් ඒ ගීතයේ වීඩියෝ එකත් නිමවෙන්න ළඟයි. නමුත් එළියට දාන දවසක් ගැන තවමත් හිත හිත ඉන්නවා.

වසංගත තත්ත්වය පහව ගිය පසු ජයශ්‍රීලා නැවතත් ගුවන්ගත වේවි නේද?

ඔව්. අපිට අනිවාර්යයෙන්ම යන්න වෙනවා. නමුත් මෙහේ වගේම එහේ තත්ත්වයත් අපි බලන්න ඕන සේරටම කලින්. ලෝකයේ බොහෝ යුරෝපීය රටවල් ඉතා බැරෑරුම් තත්ත්වයක තියෙන්නේ. යන්න පුළුවන් වුණත් මම හිතන්නෙ නෑ සංදර්ශන පවත්වන්න පුළුවන් වෙයි කියලනම්. කොහේ වුණත් කමක් නෑ ඉන්න තැනක පරිස්සමෙන් සිටිය යුතුයි.