රැල්ලට නොයා ගොවිතැන් කරන අ‍පේ කලාකරුවෝ
රැල්ලට නොයා ගොවිතැන් කරන අ‍පේ කලාකරුවෝ

රැල්ලට නොයා ගොවිතැන් කරන අ‍පේ කලාකරුවෝ

2020, May 06    

දුලීකා මාරපන

මම කොරෝනා නිසා කියලා නෙවෙයි කොහොමත් ඉස්සර ඉඳන්ම එළවළු හිටවනවා. මගේ ගම කෑගල්ල නිසා කුඹුරු වැඩ එහෙමත් කරනවා. අප්‍රේල් අවුරුද්දට ගෙදර ආවම ඔය වැඩ ටික මට කොහොමත් කරන්න තියෙනවා. කොරෝනා මට ආශිර්වාදයක් වුණා මොකද මට සැරින් සැරේ කොළඹ දුවන්න ඕන නෑ ලේසියෙන්ම ගෙදර ඉඳන් නිදහසේ මගේ වැඩ ටික කරගන්න පුළුවන්. මම කරන්නේ කාබනික එළවළු. කිසිම වසක් විසක් නැහැ.

බණ්ඩක්කා, බටු, තක්කාලි, මිරිස්, කැකිරි වර්ග, වට්ටක්කා වගේ දේශිය දේවල් බොහෝමයක් මම හිටවලා තියෙනවා. මට එළවළු වවන්න ඕනතරම් ඉඩත් තියෙනවා. ඒ අතරේ පුළුවන් තරම් දුෂ්කර පවුල් හොයාගෙන ඒ අයට උදව් කරනවා.

සෝමරත්න දිසානායක

ගොවිතැනනම් මම අද ඊයේ කරන්න පටන්ගත්තු දෙයක් නෙවෙයි. නමුත් මේ කාලසීමාවේ මට වෙලාව ඉතිරි වෙලා නිසා පෙරටත් වඩා වැඩිපුර කරනවා. පැළෑටි වගාව කියන්නේ මගේ විනෝදාංශය. මම කොච්චර කාර්යබහුල වුණත් මම මගේ ගෙවත්තේ වැඩට කාලය වෙන්කරගන්නවා. ඒ වගේ මම හදපු කොස් සහ අඹ වගේ පළතුරු ගස්වල ඵල අපි දැන් රසවිඳිනවා. දැනටත් මම මගේ වත්තේ විශාල කොටසක පැල වගා කරලා තියෙනවා.

මමනම් කියන්නේ මේ වෛරස් කාලේ කියලා විතරක් නෙවෙයි අනිත් හැමදාටත් සියලුම දෙනා වගා කළ යුතුයි කියලා. තමන්ට එදිනෙදා අවශ්‍ය කරන එළවළුවක්, පළතුරුවක් වවාගන්න එක මහලොකු දෙයක් නෙවෙයි. නාගරික අයටනම් ඉඩ ප්‍රශ්න තියෙනවා. නමුත් ඒ අයට පුළුවන් පෝච්චිවල හැදෙන මිරිස්, වම්බටු, තක්කාලි වගේ දෙයක් හිටවන්න. මම ඉර අව්ව සැර නැති හැමවෙලේම ඉන්නේ ගෙවත්තේ. මට පොඩි කුඹුරකුත් තියෙනවා. එක ලියද්දක මම එළවළු වවනවා. රේණුනම් හැමතිස්සෙම බයිනවා ඕනවට වඩා වැඩ කරන්න එපා කියලා. නමුත් ඒක මට මහන්සියක් නෙවෙයි විනෝදයක්. මම හරි ආසයි පැළයක් හිටවලා ඒ පැලේ ලොකු වෙනකොට හරියට මගේම දරුවෙක් ලොකු වුණා වගේ දැනෙන හැඟීමට. කෘෂිකර්මය ගැන කතා කරනකොට කියන්නම ඕන ඉස්සර ගොවිතැන් නොකරපු අයත් අද ගොවිතැන් කරනවා. ඒක හොඳ ප්‍රවණතාවයක්. රජයෙන් ගොවිතැන් කරන්න කිව්වට ගොවිතැනට අවශ්‍ය බීජ, පැළ වර්ග, පොහොර වර්ග ගන්න තැනක් නෑ. ඒ පිළිබඳව රාජ්‍ය අවධානය යොමු වෙනවනම් හොඳයි.

නිල්මිණී තෙන්නකෝන්

මගේ දුව පොඩි කාලේ ඉඳන්ම මම ගෙදර වගා කරනවා. මොකද එයාට අවශ්‍ය ගොටුකොළ, කංකුන් වගේ දේවල් මම ගෙදරින්මයි දුන්නේ. කරවිල, කරපිංචා, කතුරුමුරුංගා, පලා වර්ග වගේ දේවල් මගේ ගෙවත්තේ තියෙනවා. අලුතින් මිරිස් පැලවෙන්න දැම්මා. බීජ ගන්න තැනක් නැති නිසා අමු මිරිස් වේලලා ඇට අරන් තමයි පැලවෙන්න දැම්මේ. මටනම් වවන්න ලොකු ඉඩකඩක් නැහැ. මගේ රූෆ්ටොප් එකේ තමයි පෝච්චිවල හැමදේම හිටවලා තියෙන්නේ. කරපිංචා, රම්පේ වුණත් මම වවලා තියෙන්නේ ලොකු පෝච්චිවල. ඇත්තටම මම කොහොඹ පැලේ ඉඳන්ම වවන කෙනෙක්.

මගේ තාත්තා මුං ඇට පැලේ ඉඳලා හැමදේම වගා කරපු කෙනෙක්. අම්මත් එහෙමයි. අම්මනම් අහුවෙන අහුවෙන හැමදේම පැළ කළා. දුවත් හරි ආසයි හිටවන්න. එයත් මගේ වගාවන්වලට උදව් කරනවා. මේ දවස්වල මම ගොඩක්ම උත්සාහ ගන්නේ මුරුංගා පැළයක් හදාගන්න. මම මුරුංගා ගොඩක් කෑම ජාතිවලට දානවා. මුරුංගා කියන්නේ නිරෝගී සම්පත්තිය වඩවන ඖෂධයක්. නමුත් දැන් අවුරුද්දක් විතර තිස්සේ මම මුරුංගා පැලයක් හිටවන්න උත්සාහ ගත්තා. හරිගියේ නෑ. වවන්න හරි ආසයි. නමුත් කාර්යබහුලත්වයත් එක්ක වෙලාව අඩුයි. ඉඩකඩ ප්‍රශ්නෙකුත් තියෙනවා.

රොහාන් ජයලත් (ජය ශ්‍රී)

ලංකාවේ විතරක් නෙවෙයි මම යුරෝපයේත් එළවළු හිටවනවා. මම මේක ඉස්සර ඉඳන්ම කරන දෙයක්. ඔස්ට්‍රියාවෙනම් ඉස්තරම්ම පොහොර වර්ග තියෙනවා. ඒ පොහොරවල විටමින් වර්ග බොහෝමයක් තියෙනවා. ඒ නිසා අමුතුවෙන් වගාවට මහන්සි වෙන්න දෙයක් නෑ. මගෙ ආසාවක් තියෙනවා ඒ වගේ වටින පොහොර ජාති, මේ කාලගුණයට ගැලපෙන ඇට ජාති ලංකාවට ගෙන්නලා හඳුන්වලා දෙන්න.

ලංකාවෙ ගෙදරනම් හිටවන්න හොඳට ඉඩ තියෙනවා. මම දැනට කැකිරි, බණ්ඩක්කා, ඉඟුරු, කොත්තමල්ලි, කරවිල, පතෝල, මාළු මිරිස් වගේ බොහෝ දේවල් වවලා තියෙනවා. සමහර මිනිස්සු ඔහේ වළක් හාරලා අයිනවා පැලේ. එහෙම හරියන්නෙ නෑ. මම වත්තේ තැන තැන තියෙන ගිණි ගොඩවල්වලින් ඉතුරු වුණ අඟුරු, දිරාපත් වුණ පොල් මුල්වල කොහුබත් සේරම එකතු කරලා මිශ්‍ර කරලා තවාන දානවා. එතකොට මුල්වලට වැඩෙන්න ලේසියි.

දැන් සාරවස් පසක් නෑ පොළවේ. කෙමිකල් ගහලා ගහලා පසත් මියැදිලා තියෙන්නේ මට හිතෙන විදිහට. මිනිස්සු පරණ දේවල් අමතක කරන්න නරකයි. පරණ දේවල් ඒ විදිහටම නැවතත් හිටවන්න ඕන. ව්‍යාපාරයට කියලා කෙමිකල් ගහලා එලවළු පළතුරු විකුණන එක හරිම නරකයි. ඔස්ට්‍රියාවෙනම් කෙමිකල් ගහනවට නීතිය තදින්ම ක්‍රියාත්මක වෙනවා. ලංකාවෙත් එසේ විය යුතුයි. අපේ රටට කෘතිම බීම අවශ්‍ය නැහැ. ඕනතරම් පළතුරු බීම හදන්න පුළුවන්. කැරට්, පැෂන්, දොඩම්, දැන් ඇපල් පවා හැදෙනවනේ. අපේ මිනිස්සු ප්‍රයෝජන නොගත්තට කෘතිම දේවල් නැතුව අපේම දේවල්වලින් හදාගන්න පුළුවන් ශරීර සෞඛයට හිතකර බොහෝ දේවල් ලංකාවේ තියෙනවා.

මමනම් මගේ වගාව බොක්කෙන්ම කරනවා. අම්මගේ උදව්වත් ගොඩක් ලැබෙනවා.