
රණවිරුවකු නිවසට යැවූ අවසන් ලිපිය
අහම්බෙන් මේ ලිපිය පේජ් එකකින් දැක්කා. ලිපිය තවමත් පරිස්සමට ඉතා වටිනා සිහිවටනයක් විදිහට ගෙදර තියෙනවා. ඒ නිසා යළිත් මතකය ආවර්ජනයක් විදිහට ආදරණීය රණ විරු සෙබළ සේපාල රත්නායක විරුවාගේ අවසන් අවස්ථාව මෙසේ ආවර්ජනය කරමි. 😪
“අපට හිමිකරගන්නට දෙයක් නොතිබුණු නිසා.. නැති වන්නට දෙයක් තිබුණේ නැත.. හිමි වන්නට තිබුණු එකම දෙය මරණයයි… නැති වන්නට තිබුණු එකම දෙය ජීවිතයයි…”
ජීවිතය සහ මරණය එකම කාසියක දෙපැත්තක් වැනිය. ඉරණම කෙසේ විසදේදැයි කාහටත් කිව නොහැකිය. උපදින සෑම දෙනාටම මරණය පොදු දෙයකි.
සිංහල දෙමළ ආරවුල ඇරඹුණු දා පටන් අපට මිනිස් ජීවිත කීයක්නම් අහිමි වන්නට ඇත්ද? ගණනය කළ හැකිද? නොහැක. එය මෙපමණක්යැයි කිසිවකුටත් කිව නොහැකිය. මේ එවක මහ කැලෑ මැද සතුරා සමඟ මුහුණට මුහුණ සටන් වදිමින් සාමය සොයා ගිය එක් විරුවෙක් ගැන එක් කතාවක්.
“නොහැක්කක්_නොමැත” සැබෑය. පාඨයටම සරිලන පරිදි කමාන්ඩෝ සෙබළුන් හට කළ නොහැක්කක් නොමැත. අදටත් රටේ හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් මූලාරම්භය ගන්නේ කමාන්ඩෝ සෙබළුන්ය.
ඔහු කෝප්‍රල් සේපාල රත්නායක නම් විය. “ඉඳුරාම බඳවාගැනීම කමාන්ඩෝ පාඨමාලා අංක 1” යටතේ කමාන්ඩෝ රෙජිමේන්තු ඉතිහාසයේ ඔහු පළමු බල ඇණියේ සොල්දාදුවෙක් විය.
එයට අයත් ඇල්ෆා, බ්‍රාවෝ, චාලි, එකෝ යන කණ්ඩායම් අතරින් කෝප්‍රල් රත්නායක එකෝ යන කණ්ඩායමේ හොඳම 45 දෙනාගෙන් කෙනෙකු වන්නට හැකි වන්නේ ඔහු තුළ තිබූ අසීමිත දක්ෂතාවය නිසාවෙනි.
එම කණ්ඩායම්වල සිටින සොල්දාදුවන් යුධ භූමියට යවනුයේ ඉතාමත් අසීරු අවස්ථාවන්වලදී පමණි. එතරම්ම ඔවුන්ගේ ජීවිතවල වටිනාකම වැඩිය. ඔවුන්ගේ කණ්ඩායමේ අවශ්‍යතාව බෙහෙවින්ම ඇවැසිව තිබූ මොහොතක කෝප්‍රල් රත්නායක හට වැලි ඔය හමුදා කදවුරට යාමට සිදුවන්නේ යුද පෙරමුණට ඔහු අවශ්‍යම සෙබලෙක් වූ බැවිණි.
යුද්ධය අතරතුර වෙඩි උණ්ඩ මැද මහ කැලෑවේ සිට උඩු ගුවනේ සිට ඇද දමන හාල්, පරිප්පු වැනි ගෝනි මොහු කර තබාගෙනවිත් තැබුවේ මිතුරන් සියළු දෙනාගේම කුසගිණි නිවීම පිණිසය. ඒ ගෙනවිත්ද ඔහුට ඒවා ගබඩා කරගෙන සැගවෙන්නට සිදු වූයේ වෙඩි උණ්වලින් සිදුරු වුණු යන්තම් බිත්ති හතරකින් වට වූ ගොඩනැගිලි තුළය.
ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ ඔහු දිවි ගලවා ගත් ආකාරය ඔබට පැහැදිලි කිරීමට අවශ්‍ය නැත. මා හට එය පැහැදිලි කිරීමට කොහෙත්ම නොහැකිය.
මහා සටනකින් අනතුරුව ජය ලබා වැලි ඔය කැලෑවක රාත්‍රීන් කිහිපයක් ගත කරන්නට සිදු වූයේ එළැඹෙන දිනයේද ඔවුන්ට තවත් එක් ත්‍රස්තවාදී කඳවුරකට පහරදීමට තිබූ බැවිණි. ඒ අතර තම මිතුරෙකුගෙන් පෑනක් සහ කඩදාසියක් ඉල්ලාගත් ඔහු හැකි ඉක්මණින් ලිපියක් ලියන්නේ තම මවට හා පියාට තමා නිරුපද්‍රිතව සිටින බව දැන්වීම සදහාය. හෙට ඔවුන් සිටිනා තැනට ඒමට නියමිත හෙලිකොප්ටර් යානයට ලිපිය බාර දීම සඳහාය.
මේ ලිපිය දැන් කියවීමට අපහසුය. පැහැදිලි නැත. ඒ නිසා මා එය මෙසේ තිබූ පරිදිම සටහන් කරමි.
අද 04, යුධ
ආදරණීය අම්මා, තාත්තා වෙත.
අම්මේ මම තවම සුවෙන්. දැනට සතියකට පෙර අපි කැලේට ආවා. ඊයේ ලොකු කදවුරකට ගැහුවා. උදේ 9 සිට රෑ වෙනකල් ගහලා ඒක ඇල්ලුවා. හෙට තව කදවුරකට ගහනවා. අම්මේ දුක් වෙන්න එපා. සෙබලා යුද කරන්න ඕනේ. මම සෑහෙන්න කල්පනා කරලා තමයි මේ ගමන ආවේ. ඉතින් අම්මේ දෙවියන්ගේ පිහිටෙන් මම තවම පෙරමුණේ නොසැලී ඉන්නවා. ඒ ගැන අම්මා සතුටු විය යුතුයි.
මේ ලිපිය ලියන්නේ බොහොම අමාරැවෙන්.
ඉතින් අම්මේ මම මැරුණත් දුක් වෙන්න එපා. මම බයේ දුවලා හැන්ගිලා මැරෙන්නේ නැහැ. ඉදිරියට ගිහින් නියම කමාන්ඩෝ සෙබලෙක් වගේ සටන් කරලා තමයි මැරැණත් මැරෙන්නේ. අම්මේ බයවෙන්නවත් දුක්වෙන්නවත් එපා. සතුටින් ඉන්න. දැන් කලුවරයි. මම නවතිනවා. අම්මා තාත්තා නන්ගී ඇතුලු සියලු දෙනාට බුදු සරණයි.
පුතා, සේපාල.
ඔහුගේ මෙම ලිපිය දින ගණනාවකට පසු ඔහුගේ මව්පියන් අතට පත්වනවිටත් ඔහු සිටියේ ඔහුගේ නිවසේය. නමුත් පණ පිටින් නොව. මල් වඩම් පිරි දෙනෝදහසකගේ සෝ සුසුම් විලාප මැද මිනී පෙට්ටියක වැතිරීගෙනය.
මේ කෝප්‍රල් රත්නායක සහෝදරයා ඔහුගේ මවට ලියූ අවසන් ලිපියයි. මේ ලිපිය ලියා දින දෙකක් ඇතුලත (1991.06.06) ඔහු තම අවසන් සුසුම් පොද වා තලයට මුසු කරන්නේ මහ කැලයක තනිවමය.
මා පෙර සදහන් කළා සේම ඔහු තම මාතෘ භූමිය වෙනුවෙන් අවසන් හුස්ම පොද දක්වා සටන් කලේ කෙතරම් අභීතවද යන්න ලිපිය කියවූ ඔබටත් දැනෙනවා නොඅනුමානය. තම එකම පුතාගේ නිසල සිරුර ඉදිරිපිටදීම ඔහු ලියූ අවසන් ලිපිය ඇය තට පත්වනවිට එම මවට කොපමණ දරු දුකක් දැනෙන්නට ඇතිද? එය මාහට විස්තර කිරීමට ඉතාමත් අපහසුය.
සැබැවින්ම ඔහු රණ විරුවෙකි. වෙඩි උණ්ඩ පසාරු කරන් ගියද ඔහු කෙදිරියක් හෝ නොනැගූ බව සඳහන්ය. ඔහු තම වේදනාව දරාගෙන මහ කැලේක තනිවම මියයන්නට ඇත. මෙම ලිපියෙහි ඔහු ඔහුගේ මරණයේ සේයාව දුටුවාදැයි මට සිතේ.
මෙම ලිපිය අදටත් මා සන්තකයේ ඇත. එය ඉරී ඇත්තේ මව සහ සහෝදරියන් එය ඉදිරීම නිසාවෙනි. මගේ මාමා එය ඉක්මනින් අලවා ඔහු සන්තකයේ තබාගෙන ඇත. නමුත් දැන් එය කියවීම ඉතාමත්ම අපහසුය.
කෙසේ වෙතත් මා වෙහෙස දරා හෙමින් හෙමින් අකුරින් අකුර අමුණා ගලපා ලිපිය සම්පූර්ණ කළෙමි.
එය කියවන වාරයක් වාරයක් පාසා.. ඔහුගේ රූපය දකින වාරයක් වාරයක් පාසා.. මගේ දෑසට කදුළු නැගෙන්නේ මටත් නොදැනීමය.
මරණය අභියස නිහඬව දිවිදුන් රත්නායක සහෝදරයාණෙනි ඔබ අප හදවත්හි සදා අමරණීයයි… ❤️🕊️🙏