‍කොරෝනා සමයේ බොලිවුඩයේ සුපිරි තරු ගෙවල්වලට වෙලා මොකද කරන්නේ?
බොලිවුඩ් තරු මොකද කරන්නේ

‍කොරෝනා සමයේ බොලිවුඩයේ සුපිරි තරු ගෙවල්වලට වෙලා මොකද කරන්නේ?

2020, Apr 28    

කිරීටක වෛරසය පැතිරීමත් එක්ක ලොව පුරා ජනතාවගේ දෛනික ජීවිතයට විශාල බලපෑමක් සිදුවෙලා තියෙනවා. ඉතින් මේ වසංගතයත් එක්ක ඉන්දියාවේ සිනමා ශාලා, ජිම් සහ පොදු පිහිනුම් තටාක මාර්තු අවසානය දක්වා වසා තබන්නත් රජය නියෝග කරලා. ඉතින් චිත්‍රපටත් ඇණහිටි නිසා බොලිවුඩයේ තාරකා සියල්ලත් මේ දිනවල ගෙදරට වෙලා තමන්ගේ පවුලත් එක්ක බොහෝම නිදහසේ ඉන්නවා. නමුත් ගොඩක් දෙනා සමාජ මාධ්‍ය තුළින් කොරෝනා වෛරසය පිළිබඳ විවිධ උපදෙස් තම රසිකයන්ට ලබාදෙන්නත් අමතක කරන්නෙ නෑ. ඉතින් ඒ වගේ මේ දවස්වල බොලිවුඩ් තරු නිවෙස්වල රැඳෙමින් මොනවද කරන්නේ කියලා අපිත් පොඩ්ඩක් හොයලා බැලුවා.

බොලිවුඩයට මෑත කාලයේදී පායපු දිදුලනම තරුවක් තමයි කාර්තික් ආර්යන් කියන්නේ. ඔහු රංගනයෙන් දායක වන බූල් බුලයියා දෙවැනි චිත්‍රපටයත් වසංගත තත්ත්වයත් එක්ක ඇණහිටීමත් එක්ක ඔහුටත් ඔහුගේ පවුලේ සමීපතමයන් එක්ක හුදෙකලා නිවාඩුවක් ගතකරන්න ලැබිලා තියෙනවා. ඉතින් කම්මැලි වෙලාවට කාර්තික් ඔහුගේ ආදරණීය මවත් සමඟ පුංචි පුංචි ක්ලිප්ස්වලින් කරන ජෙන්ගා නමැති ක්‍රීඩාවක නියැලෙනවලු. ඒ වගේම සියලුම සේවකයන්ට නිවෙස් තුළ සිට වැඩ කරන ලෙස රජයෙන් දන්වා තිබූ හෙයින් ඔහු සම්පූර්ණ ඇඳුමින් සැරසී නාන බේසමක හිඟ ගත් ඡායාරූපයක් #work from home යනුවෙන් පලකර තිබුණා.

වෛරසයේ බලපෑම මුළු ලෝකයම වෙලා ගනිද්දි ධනාත්මක සිතුවිලි ඔස්සේ සමාජ මාධ්‍යයේ ලොකු සටනක් කරන කෙනෙක් තමයි ශිල්පා ෂෙට්ටි. ඇය එක් අවස්ථාවක අපූරු කතන්දරයක් ඔස්සේ රසියකයන් දැනුවත් කර ඇත්තේ 1665 වසරේදී ලන්ඩනයේ මෙවැනි තත්ත්වයක් නිසා කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය වසා තැබූ නිසා අයිසෙක් නිව්ටන් නැමැති මහා විද්‍යාඥයාට ගෙදරට වී සිටීමට සිදු වූ නිසා කැල්කියුලස් සහ දෘෂ්ඨි න්‍යායයේ කොටස් සොයාගත් අතර ගුරුත්වාකර්ෂණය පිළිබඳ බොහෝ දේ සොයාගත් විශිෂ්ඨතමයෙක් වූ බව මතක් කර දීමෙනුයි. ඇය අවසන සඳහන් කර ඇත්තේ &මේ අවස්ථාවේ ඔබට විකල්ප දෙකක් ඇත. එක ඔබේ මනස භාවිතා කරන්න. නැතහොත් මනස නැතිකරගන්න.* යනුවෙනි.

ඉන්දියාව අගුලු දැමීමත් සමඟ වර්තමානයේ බොහෝ විට පෙනෙන්නට නැතත් බොලිවුඩයේ ආකර්ෂණීම චරිතයක් වන ජුහී චවුලානම් හොඳ කාබනික ගෙවිලියක් වෙලා තියෙනවා. ජුහී මේ දවස්වල ස්වයං නිරෝධායනය වෙන අතරේ ඇයගේ වත්තේ කාටත් ප්‍රයෝජනයක් වන තක්කාලි, කොත්තමල්ලි සහ මහදුරු වගේ වගාවන්වලට පාත්ති සකස් කරනවලු.

බොලිවුඩයේ කේන්තිකාරිය ඇයයි. ඒත් පාට පාට වළලු ගොඩක් තරමටම සුන්දර ඇය කංගනා රනොත්. හිතෙන විදිහට මේ නිරෝධායන සමයේ නිවෙස්වලට වී කාලය ගෙවන වාසනාවන්තම බොලිවුඩ් තරුව ඇය වෙන්න ඕන. මොකද දන්නවද? ඇයගේ මේ නිරෝධායන කාල සීමාව ගෙවන්නේ ඉන්දියාවේ තියෙන අති සුන්දරතම ප්‍රදේශයක. ගෙදරටම හිර වෙලා ඉන්න එකෙන් ගොඩක් දෙනා මානසික ව්‍යාකූලතාවයට පත්වුණාට කංගනාටනම් එය එසේ නොවන බවනම් ඒකාන්තයි. ඇය මේ වනවිට තම උපන් ගම වන මනාලිවල තමයි කාලෙ ගෙවන්නේ. ඉතින් මේ දිනවල කංගනාගේ ප්‍රියතම විනෝදාංශය වෙලා තියෙන්නේ මනාලිවල ලස්සන කඳු පන්තියකින් වටවෙලා තියෙන ගමේ තමන්ගේ ගෙවත්තට වෙලා පවුලේ උදවියත් එක්ක කාඩ් සෙල්ලම් කරන්නලු. ඒ වගේම නිදහස් වෙලාවට එළිමහනේ ඉඳන් ආදරණීය මව ආශා රනෝත්ට කියලා හිස සම්බාහනය කරගන්නත් ඇය බෙහෙවින් කැමැත්තක් දක්වනවලු.

ගොඩක් දෙනා කියන දෙයක් තමයි මේ නිරෝධායන සමයේ ගෘහණියන් මෙන්ම පිරිමින්ටද ගෙදර වැඩපලවලට උදව් කරන්න හොඳ අවස්ථාවක් කරගන්න පුළුවන් කියලා. විකී කෞෂාල්නම් එය ඒ විදිහටම පිළිපදින බවක් තමයි පේන්නේ. ඔහු ගෘහ සේවයේ යෙදෙන වීඩියෝවක් සහ ඡායාරූප කිහිපයක් ඉන්ස්ටර්ග්‍රෑම් වෙත මුදාහැර තිබුණා. බොලිවුඩයේ ප්‍රසිද්ධ නළුවෙක් වන විකීට මේ ඡායාරූප ගැන බොහෝදෙනා විහිළු අදහස් එක් කර තිබුණත් එය බොහෝ කලාකරුවන්ට හොඳ ආදර්ශයක්. නමුත් ගෙදර දොරේ වැඩ කරන අතරතුර තමන්ගේ කාය වර්ධනය ගැන අවධානය යොමු කරන්නත් විකී අමතක කරන්නේ නැහැ.

තමන්ගේ සිනමා ගමනේ රංගනයෙන් දායක වූ පළමු සිනමා නිර්මාණයෙන්ම ප්‍රේක්ෂක හදවත් සොරාගෙන වර්තමානයේ ඉන්දියානු සිනමාව තුළ වැඩිම ආදායමක් ලබන නිළියක් තමයි දීපිකා පදුකෝන් කියන්නේ. ඒ වගේම ලෝකයේ වැඩි ආදායම් ලබන නිළියන් අතරේද ඇය සිටිනවා. ඉතාමත් කාර්යබහුල ජීවිතයක් ගෙවන දීපිකාටත් මේ නිරෝධායන සමය මිල කළ නොහැකි ඉතාමත් වටිනා කාලවකවානුවක් වෙලා. ඇය වගේම කාර්යබහුල ඇයගේ ආදරණීය සැමියා රන්වීර් සිං සමඟ සතුටින් කාලය ගත කරන්න ලැබීමත් කොච්චර වටිනවද. දීපිකානම් මේ දවස්වල නිවෙසට වෙලා ඉන්න අතරතුරේ පියානෝ වාදනය ප්‍රගුණ කරනවලු. ඒ අතරේ රන්වීර් කැමතිම ආහාර පාන පිලියෙල කරලා දීලා ආදරීය බිරිඳක් වීමත් ඇය අතපසු කරන්නෙ නෑ. ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් පිටුව මේ දිනවල පිරී ඇත්තේ ඇයගේ සූපවේදය ප්‍රගුණ කරපු ඡායාරූපවලින්ම පමණයි.

බොලිවුඩයේ Big B ලෙසින් හැඳින්වෙන අමිතාබ් බච්චන් තම අතෙහි &Home Quarantined* ලෙසින් දිස්වෙන මුද්‍රාවක් තබා සමාජ මාධය වෙත ඡායාරූපයක් පල කර තිබෙනවා. සමාජයද ආරක්ෂා කරමින් පවුලේ සාමාජිකයන් සමඟ ප්‍රවේසමෙන් නිවෙසට වී සිටිම පිළිබඳ බෙහෙවින් ආඩම්බරයට පත්වෙන බව පවසන බච්චන් ශිල්පා වගේම නිරන්තරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ රසිකයන් දැනුවත් කරන්න වෙහෙසෙනවා. වයසට ගියත් කාය වර්ධනය ගැනත් තාම හිතන Big B තම පෞද්ගලික කාය වර්ධන ස්ථානයේ සිට ඡායාරූපයක් පළකර තිබුණේ ජිම් නොගොස් තමන්ගේ නිවසේ සිටම ශක්තිමත් වන ලෙස දන්වමිනුයි.

කරීනා කපූර් සහ සයිෆ් අලි ඛාන් මේ දිනවල තම පවුලේ සතුට වෙනුවෙන්ම කාලය ගත කරන පුංචි පවුලක්. සයිෆ්නම් ඔවුන්ගේ පුංචි පුතු තායිමූර් එක්ක ගෙවතු වගාවක් ආරම්භ කරලා තියෙනවා. නමුත් සයිෆ් පොතක් කියවන පින්තූරයක් සමාජ මාධ්‍ය වෙත යොමු කර තිබූ කරීනා එහි සඳහන් කර තිබුණේ එක සතියකට ඔහු මුළුමනින්ම පොතක් බවට පත්වී ඇති බවයි. කෙසේ වෙතත් දීපිකා වගේම කරීනත් පුංචි පුතාටත් සයිෆ්ටත් රසවත් ආහාර පානවලින්නම් අඩුවක් කරන්නේ නැතිලු.