බොලිවුඩයට යන ඩිලන්තගේ ජීවිත කතාව
ඩිලන්ත මාලගමුව

බොලිවුඩයට යන ඩිලන්තගේ ජීවිත කතාව

2020, Aug 07    

ඩිලන්ත මාලගමුවගේ ජීවිත කතාව චිත්‍රපටයකට නගන්න සූදානම් වෙනවා. හැබැයි මේ ෆිල්ම් එක කරන්නේ ලංකාවෙන් නෙවෙයි. ඉන්දියාවෙන්. ලංකාවේ අපිට වඩා ඩිලන්ත ඉන්දියාවට වීරයෙක් වුණේ කොහොමද?

මෝටර් රථ ධාවන ඉසව්වෙන් ලංකාවේ නම හිණිපෙත්තටම ගෙනිච්ච ඩිලන්ත මාලගමුවව අපි මුණගැහුණා.

මේ කතාව ඇත්තද?

කතාව ඇත්ත. බොලිවුඩ්වලින් මගේ ජීවිත කතාව කරන්න සූදානම් වෙනවා. ඔවුන් මගේ කතාව ඉල්ලනවා. නමුත් මමත් තාමත් මගේ කතාව පොතකට ලියනවා. ඒ ලියා අවසන් වූ සැණින් ඒ පොත ඉන්දියාවට යවනවා.

ඇයි ලංකාවේ කෙනෙක්ට මේක කරන්න නොදෙන්නේ?

ලංකාවේ කවුරුත් ඉල්ලුවේ නෑ. කොහොමත් අපේ රටට අපිව වටින්නෙ නෑනේ. මම මගේ සල්ලිවලින් ජාත්‍යන්තර තරගවලට සහභාගී වුණේ. මගේ රට මට උදව් කරලා නෙවෙයි මම සංහ කොඩිය දාගෙන ජාත්‍යන්තරයට ලංකාවේ නම ගෙනිච්චේ. නමුත් ඉපදුණු රටට මම ගරහන්නෙ නෑ. මේ ඉපදුණ පොළව වාසනාවන්තයි. ඒකයි මම මගේ රටේ කොඩිය ගහගෙන හැම තරගෙකටම ඉදිරිපත් වුණේ. මොන ප්‍රශ්න ආවත් ලාංකිකයෙක් වීම ගැන මට ආඩම්බරයි.

ඩිලන්ත අපි මේ කතාබහ ඔබගේ පාසල් කාලයෙන්ම පටන් ගමු නේද?

මම පළවෙනි ශ්‍රේණියේ සිට පාසල් ගියේ කුරුණෑගල සාන්ත අන්තෝනි විද්‍යාලයට. ඊටපස්සේ වැඩිදුර අධ්‍යාපනය සඳහා ගියේ මහනුවර ට්‍රිනිටි විද්‍යලයට. ට්‍රිනිටි යන කාලේ මම බෝඩිමේ තමයි හිටියේ. ඒ කාලේ ඉතින් ටිකක් හිතුවක්කාර චරිතයක්. නමුත් මම හොඳින් ඉගෙනගත්තා. අම්මා හැමවෙලේම කිව්වේ මට ඩොක්ටර් කෙනෙක් වෙන්න කියලා. මම ඇහුවම ඇයි අම්මා ඩොක්ටර් කෙනෙක්ම වෙන්න කියන්නේ කියලා ඇය කිව්වේ ඩොක්ටර් කෙනෙක්ට විතරයි තව කෙනෙක්ගේ ජීවිතයක් ⁣බේරගන්න පුළුවන් කියලා. ඉතින් මම ඉගෙනගත්තේ ඒ වෙනුවෙන්මයි.

වෛද්‍යවරයෙක් වෙන්න ඉගෙනගත්ත ඩිලන්ත කොහොමද ⁣මෝටර් රථ ධාවන ශූරයෙක් වුණේ?

මට අවුරුදු හතේ ඉඳලම බයිසිකල් සහ කාර් පදින්න පුළුවන්. නමුත් අප්පච්චි ඒක දැනගත්තේ අවුරුදු ගාණක් ගියාට පස්සේ. ඒ වෙනකල්ම මම තාත්තාගේ වාහන හොරෙන් පැද්දා. දවසක් ⁣ඔහොම හොරෙන් ගිය දවසක වාහනේ තෙල් ඉවර වෙලා මගදි නැවතුණා. එදා ඉතින් මට තාත්තාගේ උදව් ඕන වුණා. එවෙලේ තමයි තාත්තා දැනගත්තේ මට කාර් පදින්න පුළුවන් කියලා. අවුරුදු 14දි මම ඉංග්‍රීසි චිත්‍රපටියක් බැලුවා silver night racer කියලා. ඒ චිත්‍රපටය තමයි මගේ ජීවිතේ වෙනස් ක⁣ළේ. ඉතින් ඒක බලපු දවසෙ තමයි මම තීර⁣ණේ කළේ මම මෝටර් රථ ධාවන ශූරයෙක් වෙනවා කියලා. මම හිතුවා මගේ ජීවිතේ මට අවශ්‍ය දේ මේකයි කියලා.

විශේෂයෙන්ම කියන්න ඕන මම මුලින්ම පැද්දේ මෝටර් බයිසිකල්. පස්සෙ තමයි කාර් පදින්න ගත්තේ. අවුරුදු 16දි මම පළවෙනි රේස් එක පැද්දා. අප්පච්චිගේ යාළුවා තමයි සිරි වෙඩිසිංහ. ආනන්ද වෙඩිසිංහගේ තාත්තා. ඉතින් එයාගෙ අනුදැනුම මත තමයි මම මගේ පළවෙනි රේස් එක කටුකුරුන්දෙදි පැද්දේ. මගේ ජීවිතේ පළවෙනිම තරගය මම දින්නා. මම සිරි වෙඩිසිංහගෙන් දැනමුතුකම් ලබාගත්තට ඒ වෙනතුරුත් අප්පච්චි ඒ තරගය ගැන දැනන් හිටියේ නෑ. මම දිනලා ගෙදර ගියත් එදා මම හොඳටම ගුටි කෑවා. ආයේ එහෙම රේස් පැදලා අහුවෙන්න එපා කියලා තමයි අප්පච්චි කිව්වේ. අප්පච්චි හරි බය වුණා තුවාල වෙනවට.

ඒත් ඩිලංග තාත්තාගේ වචනයට ඇහුම්කන් දුන්නෙ නෑ?

මෙහෙමයි. මට ඒ ජයග්‍රහණයෙන් පස්සේ තවතවත් ආසාව වැඩිවුණා. නමුත් කාලයක් යනකොට අම්මගෙයි අක්කගෙයි කීමට අප්පච්චි මට රේස් පදින මෝටර් බයිසිකලයක් අරන් දුන්නා. ඉතින් අප්පච්චි කියලමයි දුන්නේ එකපාරක් හරි වැටිලා අත පය කඩාගත්තොත් රේස් ආසාව අත්ඇරගන්න ඕන කියලා. ඉතින් කොහොමහරි මට කරන්න අපහසු රේස් පවා මම ප්‍රවීන ක්‍රීඩකයන් පරද්දලා දින්නා. ඒ බයික් එක පණගන්වන්න ටිකක් දුර තල්ලු කරන්නත් ඕන. මම තල්ලු කරනකොට අනිත් අය ගිහිල්ලත් ඉවරයි. නමුත් මම කොහොමහරි ඒ තරගෙදි දෙවැනියා වුණා. කොහොමහරි කකුලත් කඩාගත්තා. අප්පච්චිගේ අවවාදය මතකයේ තිබුණත් මම හොරෙන් හරි ඒ වැඩේ දිගටම කරගෙන ගියා. ඊටපස්සේ මට ඕන වුණේ ලෝක ශූරයෙක් වෙන්න. ඉතින් මම හැමතිස්සෙම කල්පනා කළේ ජාත්‍යන්තරය දිනන්නේ කොහොමද කියලා. දවසක් මම පත්තරේ තිබුණ දැන්වීමක් දැක්කා. ඉන්දියාවේ පැවැත්වෙන ලංකාවේ අයටත් සහභාගී වෙන්න පුළුවන් මෝටර් සයිකල් තරගයක් ගැන තමයි දැන්වීම තිබුණේ. නමුත් මට සුදුසුකම් තිබුණත් අවස්ථාවක් ලැබුණේ නෑ. මම පසුබට වුණේ නෑ. පස්සෙ මම ඒ තරගේ සංවිධානය කරපු අයව සම්බන්ධ කරගෙන අවස්ථාවක් ඉල්ලුවා. ඊටපස්සේ මට කිව්වා අවස්ථාවක් දෙන්නම් හැබැයි මගේ වියදමෙන් තමයි යන්න වෙන්නේ කියලා. ඊටපස්සේ මගේ ලොකුම ප්‍රශ්නෙ වුණේ කුරුණෑගල ඉඳන් කොහොමද ඉන්දියාවට යන්නේ කියලා. ඉතින් 1980දී මම තවත් යාළුවො දෙන්නෙක් එක්ක කුරුණෑගලින් තලෙයිමන්නාරමට ගිහින් එතනින් නැවක රාමේෂ්වරම් ගිහින් කොහොමහරි ගියා. තරගක⁣රුවන් තෝරන දවසේ තරග සංවිධානය කරපු සංගමේ සභාපති ඇවිල්ලා කිව්වා මට රේස් එක පදින්න දෙන්න බෑ කියලා. ලංකාවෙන්ම ආපු අනිත් අය කියලා මට පදින්න දුන්නොත් ආයෙ ලංකාවේ ඉන්න අත්දැකීම් බහුල ධාවකයන්ව එවන්නේ නෑ කියලා. මෙච්චර කට්ටක් කාලා ඉන්දියාවටම ගිය මට ඒ වුණ දේ නිසා එතන හරියට ඇඬුණා. එතකොට එතන හිටියා ලංකාවේ මෝටර් රථ ධාවන ශූරයෙක් එස්. ඒ. අමරසේන කියලා. ඔහු ඇවිත් අඬන හේතුව අහලා සභාපති එක්ක කතා කරලා මට අවස්ථාවක් අරන් දුන්නා. තරගය තිබ්බේ කල්කටාවල. ඉතින් සල්ලි නැති නිසා ඔරලෝසුවයි, සපත්තු දෙකයි විකුණලා දවස් දෙකක් තිස්සේ කෝච්චියේ කල්කටාවලට ගිහින් මම රේස් එක පැද්දා. ජයග්‍රහණයකුත් ලැබුවා.

ඊටපස්සේ ඉදිරි ගමන කොහොමද?

එදා එතනට ඇවිත් හිටියා මත්සුමෙකි කෙම්මි කියලා ජපන් ජාතික මෝටර් සයිකල් ධාවන ශූරයෙක්. ඔහු මං ළඟට ඇවිත් ඇහුවා ඇයි මේ පරණ මෝටර් සයිකලයක් පදින්නේ කියලා. මම කිව්වා පරණ වුණත් මට ඒක පදින්න පුළුවන් කියලා. ඔහු ඇහුවා කොහොමද මම දිනන්නේ කියලා. මම කිව්වා මම කවදහරි ඔයාවත් පරද්දලා ලෝක ශූරයෙක් වෙනවා කියලා. ඔහු හිනා වුණා. ඔහු හිතුවේ ඒක මම විහිළුවට කිව්වා කියලා. ඔහු කිව්වා ඔයාට මෝටර් සයිකල් ⁣ධාවන ශූරයෙක් වෙන්නනම් හොඳම රට ජපානය කියලා. ඉතින් එදා ඔහු මට ඔහුගේ ලිපිනය ලියපු පොඩි කොල කෑල්ලක් දුන්නා ආවොත් හමුවෙන්න කියලා. කොහොමහරි මම ඉන්දියාවට ආවා කියලා දැනගෙන අප්පච්චිත් මාව හොයන් ආවා. ඉතින් මම ආපහු ලංකාවට එන ගමනේදී මගේ අතින් මත්සුමෙකි දුන්න කොලේ නැතිවුණා. ඊටපස්සේ මගේ ආසාව තිබුණේ ජපානෙට යන්න.

එතකොට ඔබගේ ඉගෙනීම් කටයුතු ඉවරයිද?

නෑ. මම සාමාන්‍ය පෙළින් පස්සේ තරග කටයුතු සඳහාම උනන්දු වුණා මිසක් උසස් පෙළ කළේ නෑ. මම ඔටෝ මොබයිල් ඉංජිනියරින් ඉගෙනගත්තා.

ජපන් යන හීනෙ හැබෑ වුණාද?

ඔව්. මම ජපානෙට ගියා. ජපානේ ගිහින් මම අර්ධකාලීන රැකියාවක් කරන ගමන් ජීවත් වුණේ වෑන් එකක. යාළුවොත් උදව් කළා. ඊටපස්සේ මම ජපානෙදි මගේම බිස්නස් එකක් පටන්ගත්තා. මොකද මගේ හීනෙ හැබෑකරගන්න අර්ධකාලීන රැකියා කරලා වැඩක් නෑ. ඉතින් 1987දි මගේම සල්ලිවලින් මම අලුත් මෝටර් සයිකලයක් ගත්තා. ඉතින් ජපානේ රැඳුණු කාලේ මම ධාවන පථවලට ගියා මෙත්සුමෙකීව බලන්න. නමුත් එයාව එහෙම හම්බෙන්න ⁣දුන්නෙ නෑ. කවදාහරි හම්බෙන බලාපොරොත්තුවෙන් මම මගේ ඉදිරි වැඩ කරගෙන ගියා. ජපානයේ පැවැත්වුණු පළවෙනි මෝටර් සයිකල් තරගයේදී මම අන්තිමයා වුණා. ඊටපස්සේ තරගේ ඉවරවෙලා මගේ බයික් එක වාහනයට පටවනකොට ජපන් ජාතිකයෝ කිහිපදෙනෙක් මං ළඟට ඇවිත් ඇහුවා කොහෙද රට කියලා. මම ලංකාව කියලා කිව්වම ඔවුන් කිව්වා “ආ.. අලි ඉන්න රට නේද? ඔයා ගිහින් එහෙනම් අලින්ව රේස් පදින්න පුරුදු කරන්න. ඔයාට අපි එක්ක රේස් පදින්න බෑ” කියලා. එ් අපහාසයය මගේ හිතේ තදින් රැඳිලා තිබුණා. එයාලා දන්නෙ නෑ මම පැය විසි දෙකක් රැකියාවන් කරලා මගේ බයිසිකලේ මංම හෝදලා මංම වාහන හොයලා පටවගෙන තරගවලට සහභාගී වුණ තරගකරුවෙක් කියලා. නමුත් 1995 මගේ පළවෙනි ශූරතාවයත් එක්ක අන්තිමේදි මම ජපානෙම චැම්පියන් කෙනෙක් වුණා. එදා ඉඳලා තමයි මම මගේ කාර් එකේ ලොකු සිංහ කොඩියක් ගහන් ඉන්නේ. ඊටපස්සේ ඊළඟ පියවර වුණේ ෆෝමියුලා නිපෝන් කියන ඝනයට යන්න. ඉතින් කොහොමහරි ෆෝමියුලා නිපෝන් එකට යන්න පුළුවන් වුණ එකම ජපන් ආසියාතිකයා වුණෙත් මමයි. ඊටපස්සේ ජපානේ රූපවාහිනී චැනල් එකක් මගේ වාර්තා වැඩසටහනක් කරන්න ඕන කිව්වා. ඒකේ අන්තිම කො⁣ටස රූගතකරන්න තිබුණේ ෆූජි ධාවනපථයේ. 1983දී මට හමුවුණ මත්සුමෙකි මට එදා අවුරුදු 14කට පස්සේ හමුවුණා. සතුටට අපි දෙන්නටම ඇඬුණා. එදා මට ඔහු කිව්වා “ඩිලන්ත.. ඔයා එදා කිව්වා මාවත් පරද්දලා ජනප්‍රිය වෙනවා කියලා. අද ඔයා මටත් වඩා ජනප්‍රියයි” කියලා. 2009දි මම මැලේසියාවේ මගේම කණ්ඩායමක් පටන්ගත්තා ඩිලන්ගෝ රේසින් කියලා. එදා ඉඳලා මම ගොඩක් ශූරතා දිනලා තියෙනවා. 2017 ඉඳන් අද වනතුරු යුරෝපියානු රටවල්වල තරගවලටත් සම්බන්ධ වෙනවා.

එතකොට ඩිලංගට තරගවලට සහභාගී වෙන්න අනුග්‍රාහකයෝ හිටියටද?

ලංකාවෙන් මට ඉස්සෙල්ලම අනුග්‍රහය දැක්වුවේ IWS එකෙන් (පෝර්ෂේ). ඒ වගේ විටින් විට එස්. බී. දිසානායක, කිෂූ ගෝමස්, ක්‍රීඩා අමාත්‍යංශය, තොණ්ඩමන් ඇමැතිතුමා, දිලින දක්ෂිල, නවීන්, රංජිත් අලුවිහාරේ වගේ කිහිපදෙනෙක් කුඩාවට හෝ මට අනුග්‍රහය දක්වලා තියෙනවා. අද වෙනකල් මට හැම තරගෙටම අනුග්‍රහය දක්වන්නේ කෝබේ මෝටර්ස් සමාගම.

ඔබට ⁣මේ තරගවලට සහභාගී වන මෝටර් රථ ලැබුණේ කොහොමද?

2010 දි මම තරගවලට ධාවනය කළේ පෝෂේ සහ ඇස්ටන් මාර්ටින්. ඊටපස්සේ තමයි ලැම්බොගිනි එක ගත්තේ. මේ සියල්ල මට ඒ ආයතනවලින් ලැබුණු දේවල්. හැබැයි ලැම්බොගිනිය හම්බුණ දවසේ ඉඳලා අද වනතුරුත් ඒ ලැම්බොගිනිය මට හොඳට සලකනවා.

ළඟදි ටැක්සි සේවයක් පටන් ගත්තා කියලා ආරංචියි?

ඔව්. අලුතෙන් ටැක්සි සේවයක් පටන්ගත්තා ඩිලන්ගෝ ටැක්සි කියලා. ඒකත් ජ්‍යාත්තන්තර ටැක්සි සේවයන් වගේ ඇප් එකකින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේකෙන් ලැබෙන ලාභය නැතිබැරි ක්‍රීඩකයන් වෙනුවෙන් යොදන්න තමයි මගේ බලාපොරොත්තුව. ලංකාවේ අවුරුද්දකට මැරෙනවා රිය අනතුරුවලින් 3000ක්. ඒ 3000 මැරුණම ලංකාවට වෙන පාඩුව බිලියන 150යි. ශ්‍රම බළකාය තමයි මේ මැරෙන්නේ. එක්කෙනෙක් මැරෙනවා කියන්නේ මුළු පවුලම ඇඳගෙන වැටෙනවනේ. නොසැලකිලිමත්කම නිසා අකාලේ මැරෙන ජීවිත ගොඩක් අපිට බේරගන්න පුළුවන්. ඉතින් ඩිලන්ගෝ ටැක්සි හරහා විනයගරුක රියදුරන් තමයි අපි යොදවන්නේ. කැමති රියදුරන් ඉන්නවනම් අපේ අායතනය හා බැඳෙන්නත් පුළුවන්.

ඔබට තියෙනවා හරි අපූරු මෝටර් රථයක්. ඒ ගැනත් ටිකක් කියමුද?

ඒ ලැම්බොගිනිය මට ලැබුණු ත්‍යාගයක්. ඒක මට මහින්ද රාජපක්ෂ මහත්මයා මාර්ගෙයෙන් ලංකාවට ගේන්න ඩියුටි ෆ්‍රී එකෙන් ඉඩ ලැබුණා. ඉතින් මම ඒකෙන් කොහේ ගියත් ලංකාවේ මිනිස්සු විතරක් නෙවෙයි පිටරට අය පවා හරි ආසාවෙන් බලනවා. මේක මේ විදිහට වර්ණ භාවිතා කරලා හදාගත්තෙත් මමයි. මේ නිල් පාටට කියන්නේ ඩිලන්ගෝ බ්ලූ කියලා. ඉතින් මගේ කාර් එක නිසා අලුත් වර්ණයකුත් ලැබුණා.

ඔබගේ සුරූපී ජපන් බිරිඳ ගැනත් කියමු.

ඇය මිදෝරි. මම ඉස්සර තරගවලට ජපානේ ගියානේ. ඒ දවස්වල මට ජපන් කතා කරන්න බැහැ. මම කියන දේවල් එයාලට තේරුණෙත් නැහැ. ඉතින් අපි නැවතිලා හිටපු ගෙදර හිටියා ගෑනු ළමයෙක්. ඒ ළමයා කිව්වා එයාගේ යාළුවකේ ඉන්නවා ඉංග්‍රීසි පුළුවන් එයා මට උදව් කරයි කියලා. ඉතින් එහෙම උදව් කරපු එයා අන්තිමේදි මගේ බිරිඳ වුණා. මමත් ඇයත් දැන් දුවලා තුන්දෙනකුගේ දෙමව්පියන්. දැන් එයාලා පදිංචි වෙලා ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. නමුත් පුංචි කාලේ ඉඳන් සිංහල ඉගෙනගන්න ඕන නිසා මම පාසල් යැව්වේ කුරුණෑගල පාසලකට.

ඔබ මෙතෙක් තරග කරලා දිනපු වාහන පෙළ තාමත් තියෙනවද?

අනේ ඔව්. මම ඒ එකක්වත් විකුණන්නේ නෑ. තවමත් හැම කාර් එකක්ම බයික් එකක්ම මං ළඟ තියෙනවා. හැබැයි ලංකාවේ නෙවෙයි. රේස් පැදපු කාර් දාහතරක් විතර තියෙනවා. මගේ බලාපොරොත්තුවක් තියෙනවා ලංකාවේ කෞතුකාගාරයක් හදලා මගේ ඒ සියලුම වස්තූන් ටික එහි තැන්පත් කරන්න. මගේ බයික් එකක් විතරයි අඩු. ඒක හදිසි ගිනි ඇවිලීමකින් විනාශ වුණා. නමුත් මම දැන් හොයනවා ඒ වර්ගයේම බයික් එකක්. ඒවා ලෝකෙ හරි අඩුයි. ඒ වගේම ලැබුණු සම්මාන 400ක් තියෙනවා. සියල්ල එහි තැන්පත් කළ යුතුයි. ඉතින් දැන් මුහුණපාලා තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි මගේ පිටරට තියෙන කාර් ටික ලංකාවට ගෙන්න ගන්න එක. ඒවා නිසා තමයි මට ලංකාවේ නම ලෝකෙට ගෙනියන්න පුළුවන් වුණේ. නමුත් අවුරුදු ගාණක් බලන් හිටියා ඒවා ලංකාවට ගෙන්නගන්න. ඒත් බැරි වුණා. ඒවා ඉතින් මෙහෙ පදින්න නෙවෙයිනේ මම ගෙන්නගන්නේ. කෞතුකාගාරයේ තැන්පත් කරන්න. ඉතින් ඒවා මට ලංකාවට ගෙන්නගන්න අාණ්ඩුවෙන් සහයෝගයක් දෙනවනම් ලොකු දෙයක්.

ක්‍රීඩකයන්ට ලංකාවේ නිසි තැන හිමිවෙනවා කියලා හිතනවද?

මෙහෙමයි. සමහර ක්‍රීඩකයන්ට සියලුම පහසුකම් හිමිවෙනවා. නමුත් සමහර ක්‍රීඩකයන්ට නෑ.. දුප්පත් ක්‍රීඩකයෙක් තරගයකට ගියො⁣ත් ⁣ටිකට් එකවත් අරන් දෙන්න කවුරුත් නෑ . ලංකාවේ සිස්ටම් එක වෙනස් විය යුතුයි. එසේ නොවුණහොත් රටට අහිමි වෙන්නේ මිල කළ නොහැකි සම්පත්. සමහර දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා එදා වේල කන්න හොයාගන්නේ බොහෝම අමාරුවෙන්. නමුත් ලෝකෙ නම තියපු ක්‍රීඩකයෝ. ඉතින් රටක් විදිහට ආණ්ඩුවක් විදිහට තමන්ගේ රට වෙනුවෙන් ලෝකයක් එක්ක සටන් කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිසි ගෞරවයක් නිසි පිළිගැනීමක් සිදු කළ යුතුයි.

ඡායාරූප - නිරංජන් මදුසංඛගෙන් සහ අන්තර්ජාලයෙන්