
ධර්මප්‍රිය ඩයස්
ඩයස් මේ දවස්වල ගෙදරට වෙලා ගත කරන නිවාඩුව කොහොමද විඳින්නේ?
මේ දවස්වල රටේ තත්ත්වය අනුව අපිට දෙන්න පුළුවන් ලොකුම සහයෝගය තමයි දරු පවුලත් එක්ක ගෙදරට වෙලා ඉන්න එක. මටනම් හිතෙන්නේ සමහරු අපි කොරෝනාවලට බය නෑ කිය කිය එළියට බැහැලා එක එක දේවල් කරන එකත් එක්තරා මෝඩකමක්. හොඳම දේ දීලා තියෙන උපදෙස් අනුව ගෙදරට වෙලා ඉඳගෙන, නමුත් තමුන්ටත් අනුන්ටත් වෛරසය පැතිරෙන්නෙ නැති වෙන්න වගබලාගන්න පුළුවන්නම් මිනිස්සුන්ට උදව්වක් කළාට කමක් නෑ එළියට බැහැලා. මමත් පුළුවන් අයුරින් ඒ විදිහට උදව් කරන්න උත්සාහ කරන කෙනෙක්.
ඩයස්ට මේ කාල සීමාව විවේකයක්ද ආතතියකින් පිරුණු කාලයක්ද?
මෙහෙමයි. මේක ඇත්තටම විවේකයක් නෙවෙයි. අපි වැඩ කරලා පුරුදු මිනිස්සු. මේක අනික මුළු ලෝකයටම වුණ ඛේදවාචකයක්. ඒ නිසානේ අපි ගෙවල්වලට වෙලා ඉන්නේ. මෙහෙම ගියොත් මුළු ලෝකෙම මිනිස්සුන්ට ගෙවල් අස්සට වෙලා ඉඳලම මානසික ආතතිය ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒකටත් වෙනම ලෑස්ති පිට ඉන්න වෙයි. මමනම් පුළුවන් වෙලාවට වත්තේ මොනවාහරි වවලා මොනවාහරි වත්තේ වැඩක් කරලා තව කෙනකුට දෙන්න උත්සාහ කරනවා.
ඒ කියන්නේ ඩයස් මේ දවස්වල එළවළු වගා කරනවද?
මේ වෛරස් එකටත් කලින් ඉඳන් මම එළවළු වගාව කරගෙන යන දෙයක්. වෛරස් එකෙන් වුණේ මම ඒ දේ වැඩි උනන්දුවකින් වැඩිපුර ඉඩප්‍රමාණයකින් කරපු එක. තාම මූලික අවධියේ ඉන්නේ. තව මාසෙකින් හමාරකින් තමයි ඉතින් ප්‍රතිඵල ලැබෙන්නේ. මම උත්සාහ කරනවා ඒකෙන් හරි මනුස්සයෙක්ට උදව්වක් කරන්න. මේක මම තනියක කන්න කරන දෙයක් නෙවෙයි.
දෙවෙණි ඉනිම ආනන්දගේ ගරාජ් එකටත් මේ දවස්වල බිස්නස් පාඩු ඇති?
මේ වගේ වාතාවරණයක් තුළ රටක ඉස්සෙල්ලාම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ Entertaining කියන දේට. මේ තත්ත්වය තුළ මේ දේවල් පවත්වගෙන යන්න බැහැ. මීට කලින් මේ රටේ යුධ වාතාවරණයක් තුළදීවත් මේවා නැවතුණේ නැහැ. පාස්කු ප්‍රහාරයත් එක්ක ටික දවසක් නැවතුණා. නමුත් මේක භයානක තත්ත්වයක්. මේකට දින නියමයක් නැහැනේ. මිනිස්සු එකතු වෙන තැන්නේ භයානක. ඒ නිසා ආනන්දගේ ගරාජ් එකත් ටික දවසකට වහන්න සිද්ධ වුණා.
මේ දින නියමයක් නැති වසංගයත් එක්ක අතරමග ඇණහිටි නාට්‍ය ආපසු ආරම්භ කරද්දි පෙර තිබූ ප්‍රේක්ෂක ප්‍රතිචාර ඒ විදිහටම තියේවිද?
මම ඇත්තටම ඒ කිසිම දෙයක් ගැන හිතලා නැහැ. ඔයා මේ ප්‍රශ්නෙ අහනකල්ම මම ඒ ගැන හිතලා තිබුණේ නැහැ. මම උදේ හවස කල්පනා කරන්නේ අපේ ලෝකෙට මේ මොකද වෙන්න යන්නේ කියලා.
දෙවෙණි ඉණිමට අමතරව ඔබේ අතරමග නැවතුණු වැඩ මොනවද?
නිවන්ත ප්‍රසාරගේ සිහින ගෙනෙන කුමාරියේ නාට්‍යයේ රංගනයෙන් දායක වුණා. ඒක හරිම ලස්සන ටෙලි නාට්‍යයක්. ඒක මිනිස්සු අතරට එමින් තිබියදී තමයි මේ වෛරස් එක නිසා සියල්ල නැවතුණේ. ඊට අමතරව මම වේදිකා නාට්‍යයක් කළානේ %මම නෙවෙයි වෙන කෙනෙක්^ කියලා. එයත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද ප්‍රදර්ශනය වුණා. ඉතින් රංගගත කරන්න ශාලා වෙන් කරලා සේරම කරලා තියෙද්දි ඒකත් ඇණහිටියා. ඒ නැවතුණ කිසිම දේකට දින නියමයකුත් නෑනේ. නමුත් කවදාක හෝ නැවතත් සුපුරුදු පරිදි ප්‍රේක්ෂකයා අතරට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.
ඩයස්ගේ නෑදෑ හිතමිතුරන් ඉන්නවද මේ වසංගත තත්ත්වයට මුහුණ දෙන?
මගේ නෑදෑයෝ හා සමාන මිත්‍රයෝනම් ගොඩක් ඉන්නවා පිටරටවල දැන් මේ වසංගත තත්ත්වයට මුහුණ දීලා. එයාලත් අපි වගේම ගෙවල් ඇතුළම වෙලා ඉන්නවා. යුරෝපයේ තත්ත්වයනම් දරුණුයි. දවසකට විශාල සංඛ්‍යාවක් මියයනවා. ලංකාව ඒ අතින් දැනට ඇත්තටම හොඳයි. දුරකථනයෙන් නිතරම සම්බන්ධ වුණත් එකිනෙකාට උදව් කරගන්න බැහැනේ ඉතින්. ඒත් හමුදාව, පොලීසිය, දොස්තරවරු වගේ අදාළ හැම බලධාරියෙක්ම මේක මැඩපවත්වන්න විශාල ශ්‍රමයක් දරනවා. ඒ ගැන ඇත්තටම ගොඩක් සතුටුයි.
ලෝකයේ අනිත් රටවල්වලට වඩා ලංකාව මෙම තත්ත්වය පාලනය කරන්න විශාල වශයෙන් වෙහෙසෙනවා. ඩයස්ට ඒ ගැන මොකද හිතෙන්නේ?
මේ වෛරසය ගැන තේරුම්ගන්න බැරි මෝඩ අන්තවාදී මිනිස්සු ඕනම රටක ඉන්නවා. ලංකාවෙත් එහෙමයි. ඉතින් දවසින් දවස ඒ මිනිස්සු නිසා මේක පැතිරෙන ප්‍රමාණය වැඩි වෙනවා. නමුත් අපේ රටේ ගොඩක් මිනිස්සු මේ තත්ත්වය වෙනුවෙන් හොඳ පෙර සූදානමක් තිබුණා. අමෙරිකාව වගේ බලසම්පන්න රටවල් පවා එයාලා හරි ශක්තිමත් සෞඛ්‍ය සම්පන්න මිනිස්සු කියලා මේක එච්චර ගණන් නොගෙන හිටියා. ඒ රටවල ඉන්නේ හරිම සමාජශීලි මිනිස්සුනේ. ජයග්‍රහණ සමරන්න, යාළුවෝ එක්ක එකතු වෙන්න, සිප වැළඳගන්න, විනෝදවෙන්න හරි ආසයි. ඇත්තටම අපේ රටේ මිනිස්සු මේක ගණන් නොගත්තා නෙවෙයි අන්තවාදී කීපදෙනකුගේ වැඩපිළිවෙළ නිසා මේක ව්‍යාප්ත වුණා වැඩි වුණා.
වළක්වාගන්න බැරි හේතුවකට ඇරෙන්න එළියට යන්න එපා. රංචු ගැහෙන්න එපා. මේක තවත් වපුරන්න එපා කියලා මම සියලුම දෙනාගෙන් බොහොම ආදරයෙන් ඉල්ලනවා.