දුර්ලභ පිටපත් සෙවූ ඉර්ෆාන් ඛාන්
ඉර්ෆාන් ඛාන්

දුර්ලභ පිටපත් සෙවූ ඉර්ෆාන් ඛාන්

2020, May 14    

1967 වර්ෂයේ ජනවාරි 7 වැනිදා ඉන්දියාවේ ජායිපූර්හි උපත ලද සහබ්ෂේඩ් ඉර්ෆාන් අලි ඛාන් නොහොත් ඉර්ෆාන් ඛාන් එදා මදා තුර බොලිවුඩයේ බිහි වූ විශිෂ්ඨතම සහ සුන්දරතම රංගන ශිල්පියෙකු විය.

1988 වසරේදී Salaam Bombay චිත්‍රපටයේ කෙටි චරිතයක් තුළින් සිනමාවට අත්පොත් තැබූ ඔහු වසර තිහකට වැඩි කාලයක් පුරා මේ වනතුරු රංගනයෙන් දායක වී ඇති චිත්‍රපට ගණන 85කටත් අධිකය. එයිනුත් ප්‍රධාන චරිත රඟපෑ චිත්‍රපට සංඛ්‍යාව 59කි.

ඔහු රංගනයෙන් දායක වූ Haasil චිත්‍රපටය සඳහා හොඳම නළුවාට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානයත්, Life of Pie නැමැති හොලිවුඩ් චිත්‍රපටය සඳහා හොඳම සහය නළුවාට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානයත්, Paan Singh Tomar සඳහා හොඳම නළුවාට හිමි ජාත්‍යන්තර සිනමා සම්මානයත්, හොඳම නළුවාට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානයත්, Hindi Medium සඳහා හොඳම නළුවාට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානයත් ඉර්ෆාන් කියන බලසම්පන්න තාරකාව හිමිකරගත්තේය.

ඊට අමතරව 2011 වසරේදී ඔහු ඉන්දියාවේ සිව්වැනි ඉහළම සිවිල් ගෞරව සම්මානය වන පද්ම ශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලැබීමට තරම් වාසනාවන්තවකු විය. සුප්‍රසිද්ධ තරු ඛාන්ලා අතර ඉර්ෆාන් යනු අති දක්ෂතම ඛාන් කීවොත් මා නිවැරදිය.

Slumdog Millionaire, Qarib qarib single, Billu, Jazba, Blackmail, Piku, Lunchbox, Talvar, Hindi Medium වැනි විශ්ෂ්ඨ ගණයේ සිනමා නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂක හදවත් ඉතා සීරුවට ස්පර්ෂ කළ ඉර්ෆාන් බොලිවුඩයට පමණක් නොව හොලිවුඩයටද වටිනා රංගන දායකත්වයක් ලබාදුන් හොලිවුඩයට පවා වටිනා දියමන්තියක් බඳු විය.

2012 වසරේදී තිරගත වූ The Amazing Spider man චිත්‍රපටයේ විද්‍යාඥයකුගේ භූමිකාවක් රඟපෑ ඉර්ෆාන් හට එම වසරේදීම Life of Pie නමැති හොලිවුඩ් චිත්‍රපටයේ ප්‍රධාන රංගනයකට ද ආරාධනා ලැබිණි.

දෛවයත් සැබැවින්ම අපූර්වතමය. 1993දී තිරගත කෙරූ ලෝක ප්‍රකට චිත්‍රපටයක් වූ Jurassic Park චිත්‍රපටය නැරඹීමට සිනමා ටිකට් පතක් ලබාගැනීමට ඉර්ෆාන් හට එවකට ආර්ථික ශක්තියක් නොතිබුණි. නමුත් දෛවයේ හාස්කමකට 2015දී අධ්‍යක්ෂණය කෙරුණු Jurassic World චිත්‍රපටයේ Simon Masrani නම් අනු චරිතය ඉර්ෆාන් කරා දෑත් විහිදාලීය. එම චරිතය ඔස්සේ ඉර්ෆාන් හොලිවුඩයේද නොමැකෙන සළකුණක් තැබුවේය.

%මිනිස්සු දකින්න කැමති මගේ වැඩ. නැතුව මගේ මූණ නෙවෙයි.& සැබෑවටම බොලිවුඩයේ කඩවසම් හැඩිදැඩි තරුණ ජවය පිරුණු නළුවන් අතරින් සිනමාවේ හිණි පෙත්තටම පැමිණි ඉර්ෆාන් මෝස්තරකාරයන් මැද මාත්‍රාවට රඟපෑ සරල මිනිසෙක් විය. ඔහු හට හොලිවුඩයෙන් පවා ආරාධනා ලැබනේනට ඇත්තේ එනිසාමය.

2017 වනවිට ඉර්ෆාන් රඟපෑ චිත්‍රපට ලොවපුරා බොක්ස් ඔෆිස්හි ඩොලර් බිලියන 3.643ක ආදායමක් උපයා තිබුණි.

ඔහු පිළිකාවට එරෙහිව නිරත වූ සටන අතරතුර රංගනයෙන් දායක වූ අවසන් චිත්‍රපටය Angresi Medium චිත්‍රපටයයි. ඉර්ෆාන් පිළිබඳ කන වැකුණු ශෝකජනක පුවතත් සමඟ ඇල්මැරුණු ප්‍රේක්ෂක සිත් සතන් යළිත් තුටින් ප්‍රාණවත්ව පුරවන්නට අන්ග්‍රේසි මීඩියම් සමත් විය. මන්ද පිළිකා මාරයා පරාජය කොට ඉර්ෆාන් නැවතත් සුපුරුදු රිද්මයෙන් සිනමාවට පා තැබූ නිසාවෙනි. නමුත් අවාසනාවකට අන්ග්‍රේසි මීඩියම් තිරගත වී දින කිහිපයක් යත්ම කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සියලුම සිනමාහල් වසාදැමීමට සිදුවිය. නමුත් ප්‍රදර්ශනය ආරම්භ කොට පැය කිහිපයක් තුළදී රුපියල් කෝටි 8.5ක ආදායමක් ලබාගැනීමට අන්ග්‍රේසි මීඩියම් සමත් විය. ඉර්ෆාන් ඛාන්ගේ චිත්‍රපට එලෙසය.

2018 වර්ෂයේදී ඉර්ෆාන් ඛාන් හට හඳුනාගැනීමට අපහසු රෝගයක් වැළඳිණි. ඉන්දියාවේ බොහෝ මාධ්‍ය ආයතන සිතුවේ ඔහුට මොළේ පිලිකාවක් වැළඳී ඇති බවය. මූලික ප්‍රතිකාර නිමවූ පසුව ඉර්ෆාන් ඛාන් සිය ට්විටර් ගිණුම ඔස්සේ පළකර තිබුණේ ඔහු සියලුම දෙනා සමඟ ඔහුගේ කතාව බෙදාගන්නා බවත් එතෙන් කිසිවක් අනුමාන නොකරන ලෙසටත්ය. මාර්තු 16 වැනි දින ඛාන් ට්විටර් පණිවිඩයක් නිකුත් කළේ තමා නියුරෝ එන්ඩොක්‍රීන් ගෙඩියක් හෙවත් දුර්ලභ පිළිකාවකින් පෙළෙන බවයි. ඉන්පසු ඔහු ලන්ඩනයට ගොස් ප්‍රතිකාර ලබාගත්තේය.

මොළයේ පිළිකාවක් සමඟ වසර කිහිපයක පටන් නිරත වූ සටනකින් අනතුරුව අවුරුදු 54ක් වැනි වයසකදී ලෝක ධර්මතාවයන්ට නතුව රංගන දිවියට මෙන්ම ඔහුගේ දිවියටද සමුදෙන්නට ඉර්ෆාන්ට සිදුවිය. 2020 අප්‍රේල් 29 වැනිදා කෝකිලාබෙන් ධිරුභායි අම්භානි රෝහලේදී ඉර්ෆාන් මුළු ලෝකයෙන්ම සමුගෙන අවසන් සුසුම් හෙළීය. අවාසනාවන්තම සිදුවීම වන්නේ ඉර්ෆාන් මියයාමට දින දෙකකට පෙර ඔහුගේ මවද මියයාමයි. ඇතැම්විට මව නැති ලෝකය පාළුවෙන් පිරී ඇති නිසා ඉර්ෆාන්ටද ඉක්මණින්ම මවවගේ ඇකයට යන්න සිතෙන්නට ඇත.

ඉර්ෆාන් යනු ශක්තිමත් ආත්මයකි. ඔහු අවසානය දක්වාම සටන් කළ අතර සෑමවිටම තමාට සමීප වූ සියල්ලන්ටම ආශ්වාදයක් ලබා දුන්නේය.& ඔහුගේ සහෘදයකු එසේ සටහන් කර තිබිණි.

“මම පුළුවන් තරම් හෙව්වේ දුර්ලභ ගණයේ තිර පිටපත්. අන්තිමට ඉතා දුර්ලභ ගණයේ පිළිකාවක් මට හම්බුණා.” ඔහු එක්තරා වැඩසටහනකදී එසේ පැවසීය.

ඔහුගේ මුහුණු පොතේ පිටුවට ඔබ ගොස් නිකමට පණිවිඩයක් තැබුවහොත් පෙර සේම ඔහුගෙන් &නොදන්නා ආකාරවලින් මගේ දිවිය ස්පර්ෂ කළාට ස්තූතියි. මිල මුදල්, භෞතික දේවල් පවතින්නේ නැත. නමුත් ඔබ වැනි රසිකයන් සදා පවතී* යනුවෙන් ස්වයංක්‍රීය සුහද පණිවිඩයක් අදටත් ඔබට ලැබෙනු ඇත. සැබැවින්ම ඔහු කෙදිනකවත් ඔහුගේ රසිකයන්ගේ හදවතින් නොනික්මෙනු ඇත.

ඉර්ෆාන් සිටියේ සිනමාවේය. සිනමාව ඇත්තේ හදවතේය. හදවත තාමත් ගැහේ. ඉතින් ඉර්ෆාන් ද තවම ජීවත් වේ යැයි සිතේ..