ජැක්සන් ඇන්තනී
ජැක්සන් ඇන්තනී

ජැක්සන් ඇන්තනී

2020, Apr 28    

අද අපේ පිටුව හැඩ කරන අමුත්තනම් ලංකාවේ කවුරුත් නොදැන ඉන්න විදිහක්නම් නෑ. මොකද ඔහු ඒ තරම්ම ප්‍රසිද්ධ චරිතයක්. කාලෙන් කාලෙට ප්‍රවීණ රංගන හැකියාවන් විදහාපාමින් ප්‍රේක්ෂකයා පිනවන ඔහු ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී.

මේ දවස්වල කොහොමද වැඩකටයුතු කෙරෙන්නේ?

මේ දවස්වල මගේ එස ගෙයි සොකරි චිත්‍රපටයත් එක්ක කාර්යබහුල වෙලා ඉන්නේ. අප්‍රේල් මාසේ තිරගත වීමට නියමිතයි. ඒකෙ බරසාර වැඩ කොටසක් තියෙනවා. මේ මගේ හතරවෙනි චිත්‍රපට අධ්‍යක්ෂණය. නමුත් පළවෙනි චිත්‍රපට නිෂ්පාදනය. චිත්‍රපට නිෂ්පාදකයෙක් විශාල වෙහෙසක් දැරිය යුතුයි චිත්‍රපට ප්‍රදර්ශනය කරන්න. ප්‍රවීණයන් හැටියට අපිට චිත්‍රපට නිශ්පාදනය සහ බෙදාහැරීම පිළිබඳ අත්දැකීම් තියෙනවා. නමුත් දිනෙන් දින අර්බුදයට ලක්වෙන ප්‍රදර්ශනය කියන කාරණාව ගැන තමයි ලංකාවේ අඩුම සොයාබැලීමක් තියෙන්නේ. ඉතින් මේ අර්බුදවලට විසඳුම් සොයමින් ඒ මත අපි ගැවසෙනවා. මේ දිනවල ඉතින් මගේ නිර්මාණ එළිදක්වන සිනමාශාලාවල පිළිවෙත්, පරිපාලනය, චිත්‍රපට ප්‍රදර්ශනය වන තාක්ෂණ ගැන මම ලොකු පර්යේෂණයක ඉන්නේ.

දැන් ජැකසන් සීයා කෙනෙක්ගේ තානාන්තරය දරනවා. ජැක්සන් පවුලට එකතු වුණ අලුත් මිනිපිරිය ගැනත් ටිකක් කියමුකෝ.

ඕනම පවුලකට මුනුපුරෙක් මිනිපිරියක් එකතු වුණාම ආච්චි, සීයා හිතන පතන, මුහුණ දෙන දේවල්ම තමයි මමත් දැන් මූණ දෙන්නේ. හරිම තෘප්තදායකයි. මේ දරු පැටියා ගැන මට තියෙන්නේ විශාල ලෙංගතුකමක්. සීයා කියන තානාන්තරේ මම දැකලා තිබුණේ මගේ සීයාගෙන් විතරයිනේ. මගේ දරුවන්ගේ සීයා මගේ පියා. ඉතින් මගේ කලා ජීවිතයේ පරමාදර්ශය මගේ පියා. ඒ තානාන්තරයම තමයි මම මේ දිනවල ප්‍රගුණ කරන්නේ. මම මගේ පුංචි මිනිපිරිය වඩාගන්නකොට මට මතක් වෙන්නේ මේ වගේ හැඟීමක් මගේ තාත්තාටත් ඔහුගේ මුනුපුරු මිනිපිරියන් දකිනකොට දැනෙන්න ඇති කියලා. මේ කාලයේ මම නැවතත් මගේ තාත්තා බවට පත්වෙලා ඉන්නවා.

පාසල් කාලයේ ජැක්සන් චරිතය මොන වගේද?

රාගම පොඩි වී කුඹුරේ සරල රජයේ සේවකයෙක් වුණ මගේ පියාට දාව ඉපදුණ මම සාමාන්‍ය මධ්‍යම පාන්තික ගැමි දරුවෙක්. මගේ පළමු පාසල බණ්ඩාරවෙල ශාන්ත මරියා පාසල. ඊටපස්සේ සාමාන්‍ය පෙළ දක්වා හපුගොඩ ශාන්ත මරියා කියන ගමේ පාසලට ගියා. පසුව උසස්පෙළ හදාරන්න ගලහිටියාව ජාතික පාසලට ගියා. මගේ පාසල් කාලය මම හරිම කෙලිදෙලෙන්, සැහැල්ලුවෙන්, සීමා බන්ධනවලින් තොරව ගෙවුණ කාලයක්. ඒ කාලේ ගෙවුණෙම වෙල් ගාණේ, කැලෑ ගාණේ තමයි. දෙමාපියන්ගේ, ගුරුවරුන්ගේ ආදරය ලබමින් සියලුම දඟ වැඩ කරමින් ගෙවුණු ඒ අතීතය හරිම සුන්දරයි.

ඔබගේ ආදරණීය බිරිඳ මුණගැසෙන්නෙත් ඒ උසස් පාසලෙන්මයි.

ඔව්. කුමාරිත් ගියේ ගලහිටියාව විද්‍යාලයට. මම කලා අංශයේ සහ ඇය විද්‍යා අංශයේ ශිෂ්‍යාවක්. නමුත් සෑම අංශයක්ම එකතු වී කරපු කලා කටයුතු ගොඩක් තිබුණා පාසලේ. ඒ විවිධ අවස්ථාවන්වලදී මට මුණගැසුණු හොඳම යෙහෙළිය තමයි කුමාරි. පස්සේ අපි ආදරවන්තයන් බවට පත්වුණා. මම විශ්වවිද්‍යාලයට ගියේ 1981. ඉතින් අවුරුදු පහක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර කරපු ගමන් 1985දී මම අර ප්‍රේමවන්තියව විවාහ කරගත්තා.

ඔබ සහෝදරයන් පස්දෙනකුගෙන් යුතු පවුලක සාමාජිකයෙක්. කොහොමද එදා ඒ තිබුණ සහෝදර බැඳීම?

එදා අපේ පුංචි ගෙදර කෙළි මඬලක්. කොල්ලො පස්දෙනකුගේ ගෙදරක් කොහොමට තියෙන්න ඇතිද කියලා හිතාගන්න පුළුවන්නේ. පස්දෙනාම දඟ මළු. කොල්ලො පස්දෙනාට යාළු කණ්ඩායම් පහයි. මගේ අම්මට කට්ටියටම කන්න දෙන්න බත් තම්බලා ඉවරයක් නැහැ. අපේ ගෙදරට ඒ අවට අය කිව්වේ කොල්ලෝ හයේ ගෙදර කියලා. මොකද දරුවෝ පස්දෙනාට අමතරව තාත්තත් දඟ වැඩවලට හවුල් වුණ නිසා. ඉතින් අපි හයදෙනාම හරිම විනෝදකාමියි. අපි පස්දෙනාම එකම කලා රේඛාවක හිටියේ. ගායනයට, රංගනයට, නර්තනයට එක සේ දක්ෂයි. ඒ කාලේ ගෙදර වත්තේ කොස් ගහක් ඉරලා තාත්තා ඉස්තෝප්පුවේ වේදිකාවක් හදලා දුන්නා. අපි ඉතින් ගමේ හැමෝටම මාසෙකට එක සැරයක් නාට්‍යයක් පෙන්නුවා. අපේ සෙල්ලම් ගෙදර බවට පත්වුණෙත් ඒ වේදිකාවමයි.

ඒ සහෝදර දම්වැලෙන් එක පුරුකක් ගිලිහුණ එක ලොකු අඩුපාඩුවක් නේද?

ඔහු මගේ වැඩිමල්ම සහෝදරයා සේනක ටයිටස්. ගිණි අවි සහ ගිණි කෙළි, කූඹියෝ වගේ නිර්මාණ තුළින් ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ඔහු දිනාගත්තා. ඔහු ජනතාව අතර ජනප්‍රිය වීගෙන එනකොටම තමයි අභාවප්‍රාප්ත වුණේ. මගේ බොහෝ නිර්මාණවල ඔහුත් මාත් සමඟම සමාන්තරව රංගනයෙන් දායක වුණා. අවසානයේ මගේ එක ගෙයි සොකරි නිර්මාණය කරනකොට ඔහු නෑ. ඔහු නැතිව මම කරන ප්‍රථම නිර්මාණය තමයි මේ.

ඔබ මෙතෙක් ආ ගමනේ විවිධ චරිත අතරින් ඔබටම ඔබේ චරිතය ගැන තෘප්තිමත් විය හැකි චරිතය මොකද්ද?

මට ඒක කියන්න අමාරුයි. හේතුව මම ඉතාමත් අඩු චරිත ප්‍රමාණයක් තමයි රඟපාලා තියෙන්නේ. මගේ වසර 30කට වඩා වැඩි රංග කලාපය තුළ මම තවමත් රඟපාලා තියෙන්නේ චිත්‍රපට 25ක පමණයි. ටෙලිනාට්‍ය 12ක සහ වේදිකා නාට්‍ය 10ක වගේ තමයි මම රඟපාලා තියෙන්නෙත්. මම තෝරගන්නේ හොඳම දේවල්. ගරිල්ලා මාකටින්, ජයන්ත චන්ද්‍රසිරිගේ නිර්මාණ, අග්නිදාහයේ පුංචි රාල, ගිනි අවි සහ ගිණි කෙළිහි තුන්මුල්ලේ පද්මේගේ චරිතයන්වලට මගේ විශේෂ ඇල්මක් තියෙනවා.

හොඳ චරිතයක් ඔබ තෝරගන්නේ කොහොමද?

මම චරිතයක් තෝරගනිද්දි හරියට පස්මහ බැලුම් බලන කෙනෙක්. අධ්‍යක්ෂකවරුන් එක්ක තර්ක විතර්ක කරනවා. සාකච්ඡා කරනවා. ඒ කරලා හොඳයි කියලා හිතෙන චරිත මම තෝරගන්නවා. මම තෝරගත්ත ඒ සියල්ලටම සම්මාන ලබලත් තියෙනවා.

කලාව හා දේශපාලනය ගැන ඔබ දරණ මතය කුමක්ද?

කලාව කියන දේ පවතින්නේ සමාජය තුළ. හුදෙකලා කලාකරුවෙක් වෙලා ගුහාවක් අස්සේ කලා කටයුතු කරලා මට වැඩක් නැහැ. මම මේ සමාජයත් එක්ක අනුගත විය යුතුයි. එතකොට සමාජය දේශපාලනිකයි. අපේ රට කාලෙන් කාලෙට දේශපාලන මතවාද වෙනස් කරගන්න රටක්. ඉතින් සිනමාකරුවටත් සිද්ධ වෙනවා ඒ මතිමතාන්තර එක්ක තමන්ගේ සිනමා ගමන ගෙනියන්න. ඒ නිසා කලාකරුවා නිබඳවම දේශපාලනයත් එක්ක ගැටෙනවා.

ඉදිරි නිර්මාණ කටයුතු මොනවද?

නියෝමාල් පෙරේරා අධ්‍යක්ෂණය කළ දඩඉම චිත්‍රපටය තිරගත වීමට නියමිතයි. රූකඩ පැංචි කියලා සුරංගනා කතාවක් වගේ සුන්දර ළමා චිත්‍රපටයක අන්කල් ලුවීගේ චරිතයට මම පණ දෙනවා. සුදේශ් වසන්ත අධ්‍යක්ෂණය කළා සීරුවෙන් කියලා චිත්‍රපටයක්. එහි මම අන්ධ විශ්‍රාමික මේජර්වරයෙක්. එහි වැඩකටයුතු දැන් නිමයි.

වර්තමාන සිනමාවේ උන්නතිය උදෙසා ඔබෙන් ඉටුවන මෙහෙවර කොයි ආකාරද?

මේ රටේ සිනමාවට අනුගතව අනන්‍යතාව රැකගනිමින් සිනමාකරුවකු ලෙස ජීවත් වීම. මම ඇමෙරිකාවේ විදිහට ලංකාවේ රඟපාන්න ගත්තොත් ඒක හරියට රවුම් හිලකට හතරැස් ඇබයක් ගැහුවා වගේ වෙනවා. ඒ නිසා මේ රටේ ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වන සිනමාව තේරුම්ගෙන ඒ හරහා හොඳ නිර්මාණකරණයේ යෙදෙන එක තමයි මම කරන මෙහෙවර.

ඔබ‍‍‍ගේ එක ගෙයි සොකරි නවතම චිත්‍රපටය අප්‍රේල් මස එළිදක්වන්න බලාපොරොත්තුවෙන් හිටියා. දැන් මේ පවතින වසංගත තත්ත්වයත් එක්ක සොකරිට මොනවා වෙයිද?

සොකරි හිටපු විදිහටම වෙනසක් නැතුව ඉන්නවා. වෙනසකට තියෙන්නේ සොකරිට සබයට එන්න ටිකක් කල්ගත වෙන එක විතරයි. සොකරි විතරක් නෙවෙයි ලංකාවේ සියලුම වැඩසටහන් මග ඇණහිටලා තියෙන්නේ. මුළු ජීවිත න්‍යාය පත්‍රයම අර්බුදයකට ලක්වෙලා තියෙන මොහොතක්. ඒ සියල්ල මැද මගේ සොකරිත් අර්බුදයට මුහුණ පාලා තියෙන්නේ. නමුත් කෙදිනක හෝ මේ රට නැවත ගොඩනැගෙනවා. අපි හරි සුභවාදී පිරිසක්. මීට පෙරත් විවිධ ගැටලුවලට රට මුහුණ පාලා තියෙනවා. නමුත් මේක කෙටි විවේක කාලයක් පමණයි. හරියටම දැන්නම් සොකරි එළිදක්වන දිනය ගැන කියන්න බෑ. මගේ චිත්‍රපටය ප්‍රදර්ශනයට නියමිතව තිබුණේ සුනාමි චිත්‍රපටය ප්‍රදර්ශනය වීමෙන් අනතුරුවයි. සුනාමි චිත්‍රපටයත් මග නැවතුණා. ඉතින් සුනාමි සහ සොකරි දෙකම නවත්තපු තැනේ ඉඳන් යථා කාලයේදී නැවතත් වැඩ පටන්ගනීවි.

ඒ වෙනකොට ඡන්ද සමය ආරම්භ වුණොත් එය කෙසේ බලපාවිද?

සොකරි මම එළිදක්වන්න හිටියේ අප්‍රේල් 25. ඡන්දෙත් පවත්වන්න තිබුණේ අප්‍රේල් මාසෙමයි. ඉතින් ඒ නිසා සොකරි සහ ඡන්දය එක ළඟ යෙදුණා කියලා සොකරිට ලොකු බලපෑමක් වෙන්නෙ නෑ. මගේ චිත්‍රපටයේ ප්‍රචාරක ක්‍රමවේදය මම හරි ලස්සනට නිර්මාණාත්මකව ඡන්දයට ගැටලුවක් නොවන විදිහට හදාගෙන තිබුණේ. කෙසේවෙතත් අපේ රටේ විතරක් නෙවෙයි මාවල්, ඩී.සී. වගේ ලොකු සිනමා නිර්මාණකරුවන්ගේ පවා චිත්‍රපට කල්දාන්න සිද්ධ වෙලා තියෙනවා. බොලිවුඩයත් එසේමයි. ඉතින් එන එන පැත්තට ගහ උළුවස්සා වගේ ඕනම දේකට මුහුණ දෙන්න මම සූදානම්.

මේ වසංගත තත්ත්වය ජැක්සන්ගේ වැඩකටයුතුවලට බලපෑවේ කොහොමද?

සොකරි චිත්‍රපටයේ ප්‍රදර්ශන කටයුතුවලට අමතරව මැයි, ජුනි මාසවල රූපගත කිරීම් කිහිපයක් තිබුණා. ඒ සියල්ල අවලංගු වුණා. මගේ ඊළඟ නවකතාවටත් මම මේ දවස්වල මුල පුරලා තියෙන්නේ. නමුත් ඒ කිසි දෙයක් කරන්න හිත දෙන්නෙ නැහැ. මේක අපිට ලැබුණ විවේකයකුත් නෙවෙයි. මේක භයානක ආතතියකින් යුතු නිරෝධායනයක්. කොච්චර ලොකු විවේකයක් තිබුණත් ඕනම දෙයක් කරන්න හිතේ නිදහස වැදගත්. අඩුම තරමින් කවියෙකුට කවියක්වත් ලියාගන්න බෑ මේ වාතාවරණය එක්ක. මේක එතරම්ම මිනිසා විශාල මානසික ආතතියකින් පෙළෙන තත්ත්වයක්.

ඡායාරූප - නිරංජන් මදුසංඛ