
කොරෝනා මැද බෙල්ජියමේ පිපුණු අරුම් ටයිටේනියම්
අරුම් ටයිටේනියම් එහෙමත් නැත්නම් අමෝර්ෆොෆලස් ටයිටේනියම් යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන්නේ ලොව ඇති විශාලතම පුෂ්ප මංජරියකින් සමන්විත සපුෂ්ප ශාකයක්. 1878දී ඉතාලි උද්භිත විද්‍යාඥයකු වන ඔඩෝඩෝ බෙකරි විසින් මෙහි ව්‍යාප්තිය පෙන්වා දෙන ලදී. ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත්හි සමක වැසි වනාන්තරවලට ආවේණික මෙම අරුම් ටයිටේනියම් මල කිලෝ 50කින් යුක්තයි. උස මීටර් 6කින් යුක්ත වන අතර පුෂ්ප මංජරිය මීටර් 3ක (අඩි 10) පමණ උසකින් යුක්ත වෙනවා.
නමුත් ලොව ඇති සුගන්ධවත් මල් අතරින් අරුම් ටයිටේනියම් යනු අති දුගන්ධයකින් යුක්ත මලකි. මෙයින් වෑහෙන්නේ ඉතාමත් අප්‍රසන්න දුගඳක් මිස සුගන්ධයක්නම් නොව. සරලවම කිවහොත් ටයිටේනියම් මලෙන් නික්මෙන ගන්ධය කුණු වූ මළකඳකින් නික්මෙන ගන්ධයට සමාන යැයි පැවසේ. ඒ නිසාම මේ ශාකයට මළකඳේ මල්, මළකඳ ශාකය වැනි නම්වලින් හැඳින්වේ. අරුම් ටයිටේනියම් ශාකය රෆ්ලේෂියා කුලයට අයත් ශාකයක් වන අතර රෆ්ලේෂියා පුෂ්පය ද මෙවැනිම ඉතා කලාතුරකින් වැසි වනාන්තර තුළ හටගන්නා විශාල පුෂ්පයකි. එය ලොව ඇති විශාලතම පුෂ්පය ලෙස ද හැඳින්වේ.
කොරෝනා වෛරසයත් සමඟ අඟුලු දමා ඇති බෙල්ජියමේ Meise Botanic Garden නමැති උද්භිත උද්‍යානයේ පසුගිය මාර්තු 15 වැනිදා මෙම දුර්ලභ අරුම් ටයිටේනියම් මලක පිපිබීමක් ගැන වාර්තා වෙනවා. සෑම වසර තුනකටම වරක් සුපුෂ්පිත වන මෙම අපූරැ ශාකයෙහි පුෂ්පය මෙවර උද්‍යානයේ පාලකයන්ට හැර වෙන කිසිවෙකුටත් දෑස් පනාපිට දැකබලා ගැනීමට නොහැකි වූයේ රට අගුලු දමා තිබීම හේතුවෙන්. එනිසා කලාතුරකින් අත්විඳීමට ලැබෙන අති විශේෂ දුර්ලභ අවස්ථාවක් එරටෙහි වැසියන්ගෙන් ගිලිහී ගියා.
නමුත් උද්‍යානයෙහි බලධාරීන් පුෂ්පය පිබිදීමට ගත වූ පැය 72ක කාලයක් තුළ එය වීඩියෝගත කර සියලුම දෙනාට දැකබලාගන්නට සැලැස්වූවා. ඔවුන් ඔවුන්ගේ සමාජ ජාලා ඔස්සේ සඳහන් කර තිබුණේ &මේ වසරේදීත් අරැන් ටයිටේනියම් පුෂ්පය පිපෙන බව වාර්තා කිරීමට හැකි වීම ගැන අපි බෙහෙවින් ආඩම්බර වෙමු.! අප දැනට මල විවෘත වෙන තෙක් බලා සිටින්නෙමු. උද්දීපනයක් ගොඩනැගෙමින් පවතී. ඉතා ඉක්මණින් සජීවී ප්‍රවාහය හරහා අප සමඟ වර්ධනය වන මල දැකබලා ගැනීමට හැකි වේවි* යනුවෙනි.
මේ ශාකයට අමෝර් ෆොෆලස් කියන නම ලැබී ඇත්තේ පුරාණ ග්‍රීක භාෂාවෙනි. එනම් අමෝෆෝස් කියන ස්වරෑපයක් නොමැති යන තේරැම සහිත සහ ෆාලෝස් කියන යෝධ යන තේරැම සහිත වචන දෙක එක්වීමෙනි.
මෙහි පුෂ්පය එක් පෙත්තකින් සමන්විතව පුෂ්ප මංජරිය වටේට ගමන් කරන ආකාරයෙන් පිහිටා ඇත. පුෂ්පය පිටතින් ගැඹුරැ කොළ පැහැයක් ගන්නා අතර ඇතුළත දම් පැහැයට හුරැ බර්ගන්ඩ් රක්ත වර්ණයෙන් යුක්තයි. එයින් නික්මෙන ගන්ධය කුණු වූ මාංශ ආහාරයට ගන්නා කෘමීන් සහ එය පරාගණය කරනා මී මැස්සන් ආකර්ෂණය කරගනී. මෙම ශාකයෙහි පිරිමි සහ ගැහැණු මල් දෙකම එකම පුෂ්ප මංජියක පිපෙන අතර ගැහැණු මල් පළමුව පිපිබීම ආරම්භ කරයි. පසුව දිනක් හො දෙකක් පසුවූ විට පිරිමි මල් පිපිබීම අරඹයි. මල නැවත මියගිය පසු කුඩා ගසක ප්‍රමාණයට තනි පත්‍රයක් භූගතව නැවතත් වර්ධනය වේ. සෑම වසරකටම පැරණි පත්‍ර මියයන අතර නව පත්‍රයක් එම ස්ථානයෙහිම වැඩේ.
සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 50ක බරින් යුක්ත වුවත් මෙම පුෂ්පය වැඩීමේ විවිධ අවස්ථා අනුව බරින් වෙනස් වේ. 2010දී නිව් හැම්ප්ෂයර්හි ගිල්ෆෝර්ඩ්හි ආචාර්ය ලුවී රිචාර්ඩියෙලෝ විසින් ජර්මනියේ බොන්හි උද්භිද උද්‍යානයක වගා කරන ලද ශාකයක හටගත් පුෂ්පයක් කිලෝග්‍රෑම් 117ක බරකින් යුක්ත විය. එලෙස විවිධ රටවල්වල හටගත් පුෂ්පවල බර විවිධාකාරය.
1889 වර්ෂයේදී එක්සත් රාජධානියේ පළමු වරට අරැම් ටයිටේනියම් වගාව ආරම්භ කරන ලද අතර අදටත් එදා පටන් වගා කළ මල් සියයකට අධික ප්‍රමාණයක් ඇත. මෑත කාලීනව විවිධ උද්‍යානවල වගා කරන ලද ශාක සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර එක් වසරක් තුළ ලොව පුරා සපුෂ්පක සිදුවීම් පහක් හෝ හයක් පමණ වාර්තා වේ. 2011දී කැලිෆෝනියාවේ රෝසිවිල් උසස් පාසල ටයිටේනියම් පුෂ්පය සාර්ථකව පිපුණු ලොව ප්‍රථම උසස් පාසල බවට පත්විය.
කෙසේ වෙතත් මෙවර හිමි වූ අනගි අවස්ථාව ගිලිහී ගියද නැවතත් එම උද්‍යානයෙහි කෙදිනක හෝ සජීවී ලෙස පිබිදීමක් දැකබලාගැනීමට බෙල්ජජියමේ වැසියන් බලා සිටිති.