කොරෝනා නිසා මග නැවතුණු ලෝක ප්‍රසිද්ධ උත්සව
කොරෝනා නිසා මග නැවතුණු ලෝක ප්‍රසිද්ධ උත්සව

කොරෝනා නිසා මග නැවතුණු ලෝක ප්‍රසිද්ධ උත්සව

2020, Jun 10    

ලෝකය පුරා සීඝ්‍රයෙන් පැතිරී යන කොරෝනා වෛරසය හේතුවෙන් මුළු ලෝකයටම සිදු වූ හානිය ප්‍රතිශතයක් වශයෙන් හෝ ගණනය කිරීම හරිම අපහසු කාරණයක්. මිනිසා මුහුණ දෙන ප්‍රධානම ගැටලුවලට අමතරව ඔවුන්ගේ එදිනෙදා කාර්යයන්, ව්‍යාපාර කටයුතු වගේ බොහෝ දේවල්වලට මේ වසංගතය නිසා විශාල කරදරයන්වලට මුහුණ පාන්නට සිද්ධ වෙලා තියෙනවා.

මේ සියල්ලටම අමතරව ලෝකයේ සිනමා කර්මාන්ත පැත්ත ගැන ටිකක් හොයලා බැලුවොත් නොසිතූ මොහොතක මග ඇණහිටි බොලිවුඩ්, කොලිවුඩ්, හොලිවුඩ් යන සියලුම අංශයන්ගේ සිනමා සම්මාන උළෙලවල් පවා මේ වෙනකොට දින නියමයක් නැතුව නවත්තලා තියෙනවා.

සෑම වසරකම බොලිවුඩයේ අමුතු අමුතු විලාසිතා ගොඩක් එක්ක ප්‍රමුඛ පෙළේ කාන්තා සහභාගීත්වයක් දකින්නට ලැබෙන කීර්තිමත්ම උත්සවයක් තමයි කෑන්ස් (Cannes) සිනමා උළෙල කියන්නේ. ඉතින් මේ ලොව පුරා පැතිරෙන වෛරස් එකත් එක්ක සියලුම උළෙලවල් අත්හිටුවා ඇති නිසා කෑන්ස් උත්සවයටත් ලැබුණේ යහපත් කලදසාවක් නෙවෙයි. කෙසේ වෙතත්නැවත එය පැවැත්වීමට බලාපොරොත්තු වන දින වකවානු අප්‍රේල් 15 වැනි දින ප්‍රකාශයට පත් කරන බව කෑන්ස් සිනමා උළෙලේ සංවිධායකයන් පවසා තිබෙනවා.

අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේහිදී සෑම වසන්තයකම පැවැත්වෙන සැන්. ෆ්‍රැන්සිස්කෝ අන්තර්ජාතික සිනමා උළෙලේ 2020 වසරේ උත්සවය කොරෝනා නිසා අවලංගු කර තිබෙන බව සැන්. ෆ්‍රැන්සිස්කෝ සිනමා සංගමය නිවේදනය කර තිබෙනවා.

ලොස් ඇන්ජලීස්හි මෙවසරේ පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දියානු සිනමා සම්මාන රාත්‍රියත් (The Indian Film Festival) අප්‍රේල් පළමුවැනිදා සිට පස්වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ අතර එයත් දින නියමයකින් තොරව කල් දමා තිබෙනවා.

ඉන්දියාවේ බොලිවුඩ් ඔස්කාර් සම්මාන උළෙල^ විදිහට හඳුන්වන්නේ අයිෆා (IIFA) සිනමා උත්සවය. අයිෆා උළෙලනම් අපේ රටේ උදවියටත් අමතක කරන්න බැරි ආඩම්බරයෙන් කතා කරන්න පුළුවන් උත්සවයක්. මොකද 2010 වර්ෂයේ පැවැත්වූ අයිෆා උළෙලට සත්කාරකත්වය දරපු රට වුණේ ශ්‍රී ලංකාව. කෙසේ වෙතත් මෙම වසරේ මාර්තු මස අවසාන සතියේදී ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හිදී පැවැත්වීමට නියමිතව තිබූ අයිෆා සම්මාන උළෙලත් දැන් තහවුරු කිරීමට නොහැකි දිනයකට කල් දමා තිබෙනවා.

ඒ වගේම ඉතිහාසයේ පළමු වතාවට සී සිනමා උත්සවය (ZeeCine) පසුගිය සති අන්තයක මුම්බායිහිදී පැවැත්වුණත් කොරෝනා භීතිකාව හේතුවෙන් ප්‍රවේශ පත්‍ර ලබාගත් බොහෝ පිරිසක් උත්සවයට සහභාගී වී තිබුණේ නැහැ. නමුත් ගලි බෝයි (Gully Boy) චිත්‍රපටය එම සිනමා රාත්‍රියේදී සම්මාන රාශියක් දිනාගත් අතර අවාසනාවට ගලි බෝයි වෙනුවෙන් සතුට පළකිරීමට, ඔවුන්ට සහය පළකිරීමට කිසිවෙකුත් සිටියේ නැත.

74 වැනි වරටත් පැවැත්වීමට තිබූ ටෝනි හොලිවුඩ් සම්මාන උළෙල (Tony Hollywood Festival) ජුනි 07 වැනි දින නිව්යෝර්ක්හි රේඩියෝ සිටි සංගීත ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර වහාම එයත් දින නියමයක් නොමැතිව කල් දැමීමට සංවිධායක මඩුල්ල පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් සියලුම උත්සව සංවිධායකයන් පවසා ඇත්තේ පවතින මාරාන්තික වෛරස් තත්ත්වය පහව ගිය පසු සියලුම උත්සවයන් නැවතත් පවත්වන දිනයන් සහ ස්ථානයන් පිළිබඳව ජනතාවට දැනුම් දෙන බවත් එතෙක් ආරක්ෂිතව අවදානයෙන් පසුවන ලෙසත්ය.

සිනමාවට අමතරව වෛරසය හේතුවෙන් නැවැත්වුණු තවත් ලොව විශාලතම ක්‍රීඩා උත්සවයක් තමයි සිව් වසරකට වරක් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන් ඔලිම්පික් ක්‍රීඩා උත්සවය. 2020 ගිම්හාන ඔලිම්පික් උළෙල මෙවර ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිතව තිබුණා. ක්‍රීඩා උත්සවය ජූලි මස 24 වැනිදා ආරම්භ කර අගෝස්තු 9 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් මෙම වසංගත තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ ටෝකියෝ සංවිධායක කමිටුව මාර්තු 24 වැනිදා එය කල් දැමූ බව නිවේදනය කර ඇත.

සෑම වසරකම ටෙක්සාස්හි ඔස්ටින්හිදී පැවැත්වෙන මාධ්‍ය උළෙලත් මෙම මාර්තු මස 6 වැනිදාට යෙදී තිබුණු අතර එම උත්සවයත් දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදු වී ඇති බව ටෙක්සාස් නගරාධිපති ස්ටීව් ඇඩ්ලර් ප්‍රකාශ කර තිබෙනවා. මෙය තාක්ෂණික සහ මාධ්‍ය සැමරුමක් වන අතර එයට ලොව වටා සිනමා තරු, කර්මාන්ත නායකයන් විශාල ප්‍රමාණයක් පැමිණෙනවා. කෙසේවෙතත් වෛරස් තත්ත්වය හේතුවෙන් මෙම උත්සවය අවලංගු කරන ලෙස ඉල්ලා 35,000කට අධික පිරිසකගෙන් පෙත්සම් පවා ලැබී තිබෙනවා.

මීට වසර 64කට පෙර ආරම්භ වූ යූරෝවිෂන් (Eurovision) ගීත තරගය ඉතිහාසයේ පළමු වරට වෛරසයක් හේතුවෙන් අවලංගු කිරීමට සිදු වී තිබෙනවා. කොරෝනා වසංගතය පැමිණීමට මත්තෙන් පුරා සෑම වසරකම එය පවත්වා ඇති අතර එම වැඩසටහන අන්තර්ජාතික වශයෙන් මිලියන 100 – 600ත් අතර ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සහිත වඩාත්ම ජනප්‍රිය වැඩසටහනද වෙනවා.

Tomorrowland කිව්වමනම් අද ලෝකෙ නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නෑ. එය එතරම් ලෝකප්‍රසිද්ධ සංගීත සංදර්ශනයක්. ඉතින් මේ Tomorrowland Winter 2020 ප්‍රසංගය අල්පේ ඩිහියුස්හිදී පැවැත්වීමට නියමිතව තිබුණත් ඉතා වටිනාකමකින් යුත් එම විචිත්‍රවත් උත්සවයත් අවලංගු කිරීමට තරම් කොරෝනා වෛරසය ඔවුන්ටත් බලපෑමක් ඇති කර තිබෙනවා. නමුත් ඔවුන් මානූෂීයත්වයට මුල්තැන දෙමින් ටිකට් පත් ලබාගත් අයට සම්පූර්ණ මුදල් ආපසු ගෙවීමටත් අනාගත උත්සව සඳහා විශේෂ වට්ටමක් ලබාදෙන්නටත් කටයුතු කර තිබෙනවා.

The Bonnaroo Music & Arts Festival එකත් කොරෝනා වෛරසය අමතක කොට මෙම වසර අග භාගයේදී සැප්තැම්බර් 24 – 27 දිනයන්වලට දින වෙන්කරගෙන සිටිනවා. නමුත් මෙම වසංගත තත්ත්වය දිගටම පැවතුණහොත් අනෙක් උත්සවවලට හිමි වූ ඉරණමම මෙයටත් හිමිවෙනවා නොඅනුමානයි.