
කොරෝනා නිසා දුප්පත් වූ ලොව පොහොසත්ම තිරුපති කෝවිල
තිරුපති තිරුමාලා කියන්නේ ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ චිත්තෝර් දිස්ත්‍රික්කයේ පිහිටි ඉතා ප්‍රසිද්ධ, ධනවත්ම සහ වඩාත්ම ගෞරවයට පාත්‍ර වුණු කෝවිලක්. තිරුමාලා වෙන්කටේෂ්වර් ලෙස හැඳින්වෙන මෙම තිරුපති කෝවිල අයත් නගරය අන්ද්‍රා ප්‍රදේශ්හි ‘අධ්‍යාත්මික අගනුවර’ ලෙස ද හැඳින්වෙනවා. ඒ වගේම ලොව විශාලතම විෂ්ණු කෝවිලත් මෙයයි. ඉතා අනුහස් ඇති බලවත් පූජා භූමියක් ලෙස විශාල පිළිගැනීමක් ඇති මේ කෝවිලට අපේ රටේ දේශපාලනඥයන් පවා වසරක් පාසා වන්දනාවේ යනවා අහලා දැකලා ඇතිනේ.
තිරු කියන්නේ ශ්‍රී කියන වචනයට. ශ්‍රී කාන්තා කියන්නේ ලක්ෂ්මි දෙවඟනට. පති කියන්නේ ඉන්දියානු භාෂාවෙන් සැමියා යන්නයි. ඉතින් තිරැපති යන්නෙන් අදහස් වන්නේ ලක්ෂ්මී දේවියගේ සැමියාගේ දෙවොල යන්නයි.
8 වැනි ශත වර්ෂයේදී තිරුපති කෝවිල තනා ඇත්තේ තොණ්ඩමන් නමැති ද්‍රවිඩ රජෙකු වන අතර විෂ්ණු දෙවියන් ඔහුට සිහිනෙන් පෙනී පැවසූ ආකාරයට මෙම ස්ථානයේ මෙම දෙවොල නිර්මාණය කර ඇති බව පැවසේ. හින්දු භක්තිකයන් ඉතාමත් ගෞරවයෙන් අදහන විෂ්ණු හෙවත් බාලාජීගේ දෙවොල තමයි තිරුපති කියන්නේ. මෙම දොවොල තුළ ඇති විෂ්ණු පිළිමය ප්රාතිහාර්යයකින් මැවුණු පිළිමයක් ලෙසද පැවසෙනවා. තිරුපති බලාජි කෝවිලේ තැන්පත් කර ඇති දේවතාවන්ගේ චාරිත්‍රානුකූල නමස්කාරය සඳහා මල්, පිරිසිදු බටර්, නැවුම් කිරි සහ ශාක පත්‍ර ආදිය ලබාගනු ලබන්නේද තිරුපති සිට කිලෝමීටර් විසි දෙකක් පමණ දුරකින් පිහිටි අනාවරණය නොවූ හුදෙකලා ගම්මානයකින් කියලා තමයි පැවසෙන්නේ. ඒ වගේම එම කුඩා ගම්මානයේ වෙසෙන මිනිසුන් ගම්මානයේ ජනතාව හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුත් නෙත ගැටී නැතැයි ද පැවසෙනවා.
තවත් අරුම පුදුම දෙයක් තිරුපති කෝවිල තුළ කාලාන්තරයක් තිස්සේ සිදුවනවා. ඒ තමයි මෙහි පැමිණෙන බොහෝ වන්දනාකරුවන් හිස මුඩු කරනවා. ඒ යට සැඟවුණු හරි අපූරු කතන්දරයකුත් තියෙනවා. බාලාජී නම් විෂ්ණු දෙවියන්ගේ හිසට එක්තරා එඬේරෙකු පහර දී ඇති අතර එයින් බාලාජීගේ හිසෙන් කුඩා කොටසක් තට්ටය බවට පත්වී තිබෙනවා. ගාන්ධාර්වා කුමරියක වන නීලා දේවි මෙය දැක ඔහු වැනි ආකර්ශණීය මුහුණුකට කිසිදු අඩුපාඩුවක් නොතිබිය යුතුයැයි සිතා ඇයගේ කොණ්ඩයෙන් කොටසක් කපා ඔහුගේ හිසෙහි ඇගේ ඉන්ද්‍රජාලික ශක්තියෙන් තැන්පත් කරනවා. ඇයගේ එම පූජාවෙන් පුදුමයට පත් වූ බාලාජී නීලා දේවි කුමරියට පවසා ඇත්තේ ඔහුගේ සියලු බැතිමතුන් ඔහුගේ වාසස්ථානයට කොණ්ඩය පූජා කරන බවත් එම හිස කෙස් ඇයට ලබාදෙන බවටත් පොරොන්දු විය. අදට ද කෝවිලට දිනකට හිස කෙස් ටොන් ගණනක් එකතු වන අතර කෝවිල් සංවිධානය විසින් එම හිසකෙස් වසරකට කිහිප වතාවක් ප්‍රසිද්ධ වෙන්දේසි මගින් ජාත්‍යන්තර ගැනුම්කරුවන්ට විකුණනු ලබනවා. එම විකිණීමෙන් ලබාගන්නා ආදායමද ඩොලර් මිලියන 6කටත් අධික වෙනවා.
ඊට අමතරව මුදල් මෙන්ම අන් ආභරණද තිපති සඳහා පූජා කරනු ලබනවා. මසකට කෝවිල හරහා බැංකුවේ තැන්පත් කරන රන් භාණ්ඩවල බර කිලෝ ග්‍රෑම් 3,000ක් පමණ වනවා. ලොව වැඩිම ආදායමක් ලබනා මෙම කෝවිලට වැඩි වශයෙන්ම ලාභයක් ලැබෙන්නේ බැතිමතුන් දන්දෙන හිසකෙස්වලින් බවද පැවසේ.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ලොව බොහෝ රටවල් සම්පූර්ණයෙන්ම අගුලු දැමීමට තීරණය කිරීමෙන් අනතුරුම තිරුපති කෝවිලටත් ඒ ඉරණමම අත් වුණා.
කොරෝනා වෛසරයේ බලපෑම පොළවේ ඉන්න මිනිස්සුන්ට අමතරව අහසේ ඉන්න දෙවිවරුන්ටත් එක්තරා අන්දමකින් බලපාලා තියෙන බව තිරුපති කෝවිල මතක් කරලා දුන්නා.
පසුගිය මාර්තු 30 වැනිදා කෝවිඩ් 19 ව්‍යාප්තිය නිසා බැතිමතුන් හේතුවෙන් අවදානම වැඩි වන හෙයින් අගමැති මෝදිගේ අනුදැනුම මත හදිසි රැස්වීම් කැඳවීමකින් පසුව කෝවිල වසා දැමීමට පසුගිය දිනෙක ඉන්දීය රජය පියවර ගත්තා. වසර 2000ක පැරණි ඉතිහාසයකට උරුමකම් කියන තිරුපති කෝවිල සතියකට වැඩි කාල සීමාවක් වසා තැබූ ප්‍රථම අවස්ථාව ද මෙය වෙනවා.
දිනකට තිරුපති වන්දනය සඳහා පැමිණෙන බැතිමතුන් සංඛ්‍යාව හැත්තෑ පන්දහසත් (75,000) අනූදහසත් (90,000) අතර වන වන අතර පූජා භූමියට නොපැමිණෙන ලෙස බලධාරීන් විසින් කරන ලද ආයාචනයෙන් පසුවත් දිනකට පැමිණෙන බැතිමතුන් සංඛ්‍යාව තිස් දහසක් (30,000) පමණ වී තිබෙනවා. උත්සව හෝ විශේෂ දිනවලදී බැතුමතුන්ගේ සංඛ්‍යාව 500,000 දක්වා ඉහළ යන අතර ඉන්දියාවේ වැඩිපුරම පිරිසක් නැරඹීමට පැමිණෙන ආගමික ස්ථානය වන්නේත් තිරුපති කෝවිලයි.
ඉන්දියාවේ ධනවත්ම පූජස්ථානයක් ලෙස සැලකෙන මෙම තිරුපති කෝවිලෙහි වාර්ෂික ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 11ක් වෙනවා. මේ වනවිට ඔවුන් සතුව ඇති වත්කම ඩොලර් බිලියන 20ක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. පූජා භූමියෙහි විකුණන ලඩ්ඩු රසකැවිලිවලින් පමණක් වසරකට ලබාගන්නා ආදායම ඩොලර් මිලියන 11ක් බවට වාර්තා වෙනවා. එමෙන්ම තිරුපති කෝවිලටම ආවේණික එම රසකැවිලි වර්ගයට සෑදීමට අවසරය ඇත්තේත් ඒ අවටම ජනතාවට පමණයි.
වසරකට මිලියන 11ක වත්කමක් පුද සත්කාර වශයෙන් මෙම කෝවිලට ලැබෙන නමුත්, හිස කෙස් වෙන්දේසියෙන් ඩොලර් මිලියන ගණන් හම්බකරනා නමුත්, කොරෝනා වෛරසයත් සමඟම දෙවියන්ට ඇපකැප වී සේවය කළ සේවකයන් 1300කගේ පමණ රකියාවල් මේ වනවිට අහිමි වෙලා තියෙනවා. වසර ගණනාවක් සේවය කළ ඔවුන්ගේ කොන්ත්‍රාත් කාලය අප්‍රේල් 30 වෙනිදායින් අවසන් වෙලා තිබෙන නමුත් සේවා කාලය නැවතත් අලුත් කිරීමට පාලනාධිකාරිය කටයුතු කර නැතැයි ඉන්දීය මාධ්‍ය පවසා සිටියා.
කෙසේ වෙතත් විපත්තියක් වූ විගස දෙවියන් සිහි කරනා අසරණ මිනිසුන් මිලියන ගණනක් අතරේ තිරුපති කෝවිලේ රුකියා අහිමි වූ මිනිසුන් සිහි කර දුක පවසන්නේ කාහටදැයි ගැටලුවකි.