
කයිලි ජෙනර්
කයිලි ජෙනර් කියන්නේ අද ලෝකෙ බොහෝ දෙනෙක් දන්න කියන ප්‍රසිද්ධ කාන්තා චරිතයක්. සරාගීත්වයත් එක්ක මුහුවුණු ඇයගේ ව්‍යාපාර දැනුම සහ ගෙවන සුඛෝපභෝගී ජීවිතය හේතුවෙන් තමයි ඇය මෙච්චර ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඇයගේ බලපරාක්‍රමය එතරම්ම අති විශාලයි.
1997 වසරේ අගෝස්තු 10 වැනිදා කැලිෆෝනියාවේදී උපත ලැබූ කයිලි ක්‍රිස්ටීන් ජෙනර් වැඩිමල් සහෝදරියන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වෙනවා. මේ සහෝදරියොත් ඉතාමත් ප්‍රසිද්ධ චරිත. ඒ තමයි කෝට්නි, කිම්, ක්ලෝයි කාඩේෂියන්.
අවුරුදු 11ක් වගේ පුංචි වයසකදී තමයි කයිලි එයාගේ මේ බිලියනපතියකගේ ගමනට මූලික පියවර තියලා තියෙන්නේ.
2012දී ඒ කියන්නේ වයස අවුරුදු 14දී සිය සහෝදරියක් වන කෙන්ඩල් ජෙනර් සමඟ පැක්සන් නම් ජනප්‍රිය ඇඳුම් සන්නාමයක් සමඟ කටයුතු කර ඇති අතර පසුව Kendal & Kylie යනුවෙන් තමන්ගේම ඇඳුම් පෙළක් කයිලි නිර්මාණය කරනවා. කයිලිගේ මුල්ම වෘත්තිය වෙන්නේ ඇඳුම් නිර්මාණය සහ මෝස්තර නිරූපණයයි.
ඔන්න ඊටපස්සෙ තමයි කයිලි බිලියනපතිනියකගේ ගමනේ දෙවෙනි පියවර විදිහට 2015දී රූපලාවන්‍ය පෙලක් Kylie lip kits යනුවෙන් ලොවට හඳුන්වා දුන්නේ. ඇයගේ රූපලාවන්‍ය භාණ්ඩ ලොව පුරාම ව්‍යාප්ත වෙන්න පටන්ගන්නේ උණු කැවුම් වගේ. ඒත් එක්කම කයිලි වසරක් ගතවෙත්ම එය Kylie Cosmetics ලෙස නම් කරනවා. අද වෙනකොට Cylie Cosmetics කියන්නේ ලෝකේ සල්ලිකාර කාන්තාවන්ගෙන් ඉහළම ඉල්ලුමක් තියෙන සන්නාමයක්. ඇයගේ භාණ්ඩ මිලදී ගන්නන් වෙනුවෙන් iTunes AppStoreහි අංක එකේ ස්ථානයට පැමිණි ඇප් එකක්ද නිර්මාණය කරනු ලැබුවා. අද වෙනකොට Kylie Cosmetics ව්‍යාපාරයේ වටිනාකම ඩොලර් මිලියන 900ක්.
2014 – 2015දී ලෝක ප්‍රකට ටයිම්ස් සඟරාව විසින් ජෙනර් සහෝදරියන් ලොව වඩාත්ම බලගතු යෞවනයන්ගේ ලැයිස්තුවට එකතු කරනු ලැබුවා. කයිලිට ඉන්ස්ටර්ග්‍රෑම්හි මිලියන 150කට ආසන්න අනුගාමිකයන් (followers) සිටින අතර 2019 වසරේ ඇය ඉන්ස්ටර්ග්‍රෑම්හි වැඩිම අනුගාමිකයන් පිරිසක් සිටින පුද්ගලයන්ගෙන් කෙනෙක් බවට පත්වෙනවා.
2017දී කයිලි ෆෝබ්ස් සඟරාවේ ලොව කීර්තිමත්ම පුද්ගලයන් 100 දෙනා අතරට එකතු වුණ අතර ලැයිස්තුවේ සිටින ලාබාලතම යෞවනියද වෙනවා.
එම වසරේදීම ඩීජේ සහ රැප් ශිල්පියෙකු වූ ට්‍රාවිස් ස්කොට් සමඟ ජීවිතය ආරම්භ කෙරූ කයිලිට ස්ටෝමි නමින් අවුරුදු දෙකක පුංචි දියණියකුත් ඉන්නවා. නමුත් 2019දී ඇය එම ආදරයට සමුදුන්නා.
ඉපදුණු දා පටන්ම සිය මව වන ක්‍රිස් ජෙනර්ගේ නිවසෙහි හැදී වැඩුණු කයිලි නිදහසට මූලිකත්වය දුන් නිසා තම සහෝදරියක් වන ක්ලෝයි කාඩේෂියන්ගේ නිවසට යාබදව ඇති නව සුඛෝපභෝගී මන්දිරයක් මිලදී ගන්නවා. එහි වටිනාකම ඩොලර් බිලියන 2.7ක්. එහි කාමර පහක්, නාන කාමර පහක්, ස්පා එකක්, තටාකයක් අන්තර්ගතයි. ඒ වගේම කයිලිගේ කාමරයට සම්බන්ධ වන ලෙස තැනූ ඇයගේ බෑග්, සපත්තු, ඇඳුම්වලට වෙන වෙනම කාමරත් මේ මන්දිරයේ තියෙනවා.
කයිලිගේ කාර්යාල කාමරයේ පුංචි ස්ටෝමි වෙනුවෙන් සෙල්ලම් කාමරයක් සහ රහස් පිටවීමක් ද කයිලි විසින් නිර්මාණය කරලා තියෙනවා.
සාමාන්‍යයෙන් උදේ 5.50ට දවස පටන්ගන්න කයිලිගේ දින චර්යාව ආරම්භ වෙන්නේ උදෑසන ආහාරය ගැනීම, ස්නානය සහ ඇයත් සමඟම පිබිදෙන ස්ටෝමිව නැවතත් නිදිකරවීමෙන් පසුවයි. ඒ සියලුම කාර්යයන් තම මවගේ අඩිපාරේම යමින් කරන බව තමයි ඇය පවසන්නේ.
හුරතල් දියණිය ස්ටෝමිට අමතරව කයිලිට ඉන්නවා හුරතල් බල්ලන් හතර දෙනෙකුත්. එයින් තුන්දෙනෙක් ඉතාලි ග්‍රේහවුන්ඩ් වර්ගයට අයත්. ඔවුන් තමයි බම්බි, සොෆියා සහ නෝමන්. අවම වශයෙන් මසකට බල්ලන්ගේ නඩත්තුව වෙනුවෙන් ඩොලර් 1000ක් පමණ කයිලිට වැයවෙනවලු.
අනිත් කෙනානම් එසේමෙසේ කෙනෙක් නෙවයි. රෝලි කියන්නේ English bulldog කෙනෙක්. රෝලිට විතරක් කයිලි වැය කෙරූ මුදල ඩොලර් 50,000ක්ලු. ඔයාලට අනිවාර්යයෙන්ම හිතෙයි කයිලිගෙ ගෙදර හුරතලෙක් වෙලා හරි ඉන්න ලැබෙනවනම් කියලා. ඇයි දන්නවද? කයිලි ඇයගේ සුරතලුන් සිව්දෙනා වෙනුවෙන්ම වායු සමීකරණ පවා සවිකරපු අධි සුඛෝපභෝගී නිවසක් ඉදිකරලා තියෙනවා. ඉතින් කයිලිගේ මුදල් සම්භාරය ගැන හිතාගන්න පුළුවන් නේද?
කයිලිට එදාමෙදාතුර තෑගි විදිහට සහ ඇයම මිලදී ගත් මෝටර් රථ එකතුවකුත් තියෙනවා. හිටපු පෙම්වතෙක් වූ ටයිගා ඇයගේ 21වැනි උපන්දිනයට පිරිනමා තිබුණේ ඩොලර් 320,000ක් වටිනා ෆෙරාරි රථයක්. ඊට අමතරව ඇය සතුව බෙන්ස් G550, (ඩො. 115,400), G63 රථයක්, BMW i8, ජීප් රථයක්, රොල්ස්රෝයිස්, ලැම්බොගිනි (ඩො. 400,000), බුගාටි (ඩො.මි.3) වැනි රථ කිහිපයක් අඩංගුයි. එදිනෙදා රාජකාරී සඳහා එම මෝටර් රථ භාවිත කරන ඇය ලොව වටා සංචාරය කරන්නේ ඇයගේ පෞද්ගලික ජෙට් යානයෙන්.
ඒ වගේම තමන්ගේ ශරීරය ගැන නිතරම සිතන කයිලි ඇයගේ නියපොත්තට පවා දක්වන්නේ සුවිශේෂී සැලකිල්ලක්. නිරන්තරයෙන් නියපොතු සඳහා nail arts දාන කයිලිට එක් නිය කලාවකට ඩොලර් 175ක් වැය වෙනවලු.
විවිධ අවස්ථාවන් සඳහා පළඳින්න කයිලිට විශේෂිත වූ වළලු කට්ටලයකුත් තියෙනවා. වළලු හතරකින් සමන්විත එම කට්ටලයෙහි රෝස සහ රන් පැහැයෙන් යුත් දියමන්ති වළල්ලක් (ඩො. 10,100), සාමාන්‍ය රන් වළල්ලක් (ඩො. 6,300), කහ පැහැ රන් මිශ්‍රිත වළල්ලක් (ඩො. 6,300), සුදු රත්තරන් වළල්ලක් (ඩො. 6,750) අඩංගු වෙනවා.
ෆෝබ්ස් සඟරාවට අනුව කයිලි ජෙනර්ගේ ශුද්ධ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියනයක් ලෙස ඇස්තමේන්තු කරලා තියෙනවා.
අද කයිලි ආදරණීය මවක්, රූපලාවන්‍ය ව්‍යවසායිකාවක් සහ මෙතෙක් ලොව බිහි වූ ලාබාලතම කෝටිපතිනිය ද වෙනවා. ඉතා පුංචි වයසක් තුළ මිනිසෙකුගේ ජීවිතයේ සම්පූර්ණ කරගත යුතු සියල්ල පරිපූර්ණ කරගත් කයිලි ජෙනර් සැබැවින්ම ආශ්චර්යමත්, වාසනාවන්ත යුවතියක්.