අමුතු මිනිස්සු නිරූපණ ලොව කළඹයි
අමුතු මිනිස්සු නිරූපණ ලොව කළඹයි

අමුතු මිනිස්සු නිරූපණ ලොව කළඹයි

2020, Apr 08    

මේ අසාමාන්‍ය රූපයක් තියාගෙන ලෝකයේ විශාලතම සහ ආකර්ෂණීයකම ක්ෂේත්‍රයක් වන නිරූපණ ක්ෂේත්‍රයෙන් ලොවක් දිනාගත් අපූරු නිරූපණ නිරූපිකාවන් කිහිපදෙනෙක් ගැනයි.

Sophia Hadjipanteli

Sophia Hadjipanteli

මේ ඉන්නේ සොෆියා හැන්ජිපැන්ටේලි. සොෆියාගේ වයස අවුරුදු විසිතුනයි. ඇයට තිබුණු අරුම පුදුම දේ තමයි අසාමාන්‍ය ලෙස වර්ධනය වන ඇහි බැමි. නිරූපණය කරන අයට ගොඩක් වැදගත් කාරණාවක් තමයි ඇහිබැමි කියන්නේ. නමුත් සොෆියානම් කවදාවත් ඇයගේ ඇහිබැමි ලස්සනට හදාගත්තේ නෑ. ඇය සියලුම නිර්මාණ සඳහා පෙනී සිටියේ ඇයගේ ස්වභාවිකව අපිළිවෙළට ඉතා ඝනව වැවී ඇති ඇහිබැමිත් සමඟයි. කවුරුන් හෝ ඒ පිළිබඳව නැගුවොත් ඇය පවසන්නේ මගේ මේ අමුතු පෙනුම මම කවුරු නිසාවත් වෙනස් කරන්නේ නැති බවත් ඕනම නිර්මාණයකට සහභාගී වන්නේ මේ පෙනුමෙන්ම බවත්ය. නමුත් ඇය අද සාර්ථක නිරූපණ ශිල්පිණියක්.

ඇය නිරූපණ ක්ෂේත්‍රයට අමතරව Unipro යනුවෙන් hashtag එකක් නිර්මාණය කර ඇය මෙන්ම අසාමාන්‍ය පෙනුමක් ඇති චරිත එකතු කරගනිමින් ජීවිතේ සෘණාත්මක පැත්තෙන් මුදවාගෙන ධනාත්මක පැත්තකට යොමු කිරීමට කටයුතු කරනවා.

Stephen Thompson

Stephen Thompson

ස්ටෙෆන්ගේ අමෙරිකානු ජාතික තරුණයෙක්. බැලූ බැල්මට ඔබට පෙනෙනවා ඇති ඔහුගේ අසාමාන්‍ය ශරීර වර්ණය. කෙස්ගසේ සිට මුළු ශරීරයම සුදු පැහැයක් ගන්නවා. නමුත් පෙර සඳහන් කළ අය මෙන් ස්ටෙෆන්ගේ මේ අමුතු පෙනුම උපතින්ම ලැබුණ දෙයක්නම් නෙවේ. මේක කාලයත් එක්ක ඔහුට වැළඳුණු අසාමාන්‍ය රෝගී තත්ත්වයක්. ඇල්බීනියා තමයි ඒ රෝගයේ නම. මුල් කාලයේ ස්ටෙෆන් ඉඳලා තියෙන්නේ අනිත් ළමයි වගේම සාමාන්‍ය විදිහට. මේ සුදත් එක්ක ඔහුට ඇස් නොපෙනීමේ ප්‍රශ්නයක් ද හටගෙන තියෙනවා. කෙසේවෙතත් ස්ටෙෆන් වැඩියෙන්ම වෙහෙසිලා තියෙන්නේ ලස්සනට ඇඟ හදාගෙන ලස්සන ඇඳුම් ඇඳලා පිළිවෙළට ඉන්න.

දවසක් කැමරා ශිල්පියෙක් සඟරාවකට ෆොටෝ ෂූට් එකක් කරන්න ස්ටෙෆන්ගෙන් අවසර ඉල්ලා තියෙනවා. ඔහුගේ පථ්‍රම ෂූට් එකෙන් පසුව පුවත්පත්වල එය පලවීමෙන් පසුව හැමෝම මේ සුදු කොල්ලව හොයන්න ගත්තා. ඔහුට තිබූ ජනතා ආකර්ෂණය දවසින් දවස වැඩි වෙන්න පටන්ගත්තා. ආකර්ෂණයත් එක්ක ඔහු ඉතා කාර්යබහුල වෙනවා. 2016දී චිත්‍රපටයක රඟපාන්නත් අවස්ථාව ස්ටෙෆන්ට ලැබෙනවා. ඉතින් අද ඔහුත් ඉතා සාර්ථක නිරූපණ ශිල්පියෙක්.

Winnie Harlow

Winnie Harlow

විනීට අවුරුදු 27යි. ඇයගේ මවු රට කැනඩාව. කැනඩාවේ ඉපදුණාට ඇය ලොව වටාම සැරිසරමින් විවිධ නිරූපණ අවස්ථා සඳහා ඉදිරිපත් වුණ ශක්තිමත් කාන්තාවක්. එක්සත් ජනපදයේ නිරූපණ චක්‍රයේ හොඳම 21 වැනියා ලෙස 2014දී විනී ප්‍රසිද්ධ වුණා. වයස අවුරුදු හතරේදී නිදන්ගත සමේ රෝගී තත්වයක් ඇය විසින් හඳුනා ගන්නවා. ඇය ඇයගේ සුදු කබර රෝගී තත්ත්වය නිසා පාසල් ළමයින්ගේ හිරිහැරවලට නිරන්තරයෙන් ගොදුරු වූ අතර ඇයගේ ළමා කාලය ශරීරය පුරාම තිබූ කළු හා සුදු යන මිශ්‍රිත වර්ණයන් නිසා “එළදෙන, සීබ්‍රා* වගේ සතුන්ගේ නම්වලින් තමයි යහළුවන් ඇයව හඳුන්වලා තියෙන්නේ.

ඉතින් මේ විහිළු තහළු මැද ජීවිතේ කඩා නොවැටුණු ඇය අද ලෝකයක් හඳුනන ආදරය කරන අපූරු නිරූපිකාවක් වෙලා ඉවරයි. ඒ විතරක් නෙවෙයි ලෝක ප්‍රසිද්ධ සුවඳ විලවුන් වර්ගයක් වන වික්ටෝරියාස් සීක්‍රට්හි විලාසිතා දැක්මක 2018 දී ඇයට නිරූපණය කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි ලෝක ප්‍රසිද්ධ සුපිරි ගායකයෙන් වන එමිනම්ගේ Guts Over Fear ගීතයේ වීඩියෝ දර්ශනය සඳහා ද පෙනී සිටියේ ඇයයි.

Ralph Souffrant

Ralph Souffrant

රැල්ෆ්ගේ වයස අවුරුදු 22යි. ඔහුත් අමෙරිකානු ජාතිකයෙක්. විශේෂත්වය තමයි ඔහුගේ මුළු ඇඟේම දුඹුරු පැහැති පැල්ලම් තියෙනවා. අනෙක් අසාමාන්‍ය නිරූපණ ශිල්පීන්ට වගේ මෙයාටත් පොඩි කාලේ ඉඳන්ම ප්‍රශ්න තිබිලා තියෙනවා. පිරිමි නිරූපණ ශිල්පියෙක් වුණාම මුළු ඇඟම පෙන්නන්න වෙන අවස්ථා තිබුණත් රැල්ෆ්ට ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඔහුගේ විතරක් නෙවෙයි ඔහුගේ පියාගේ ශරීරයත් මෙවැනිම පැල්ලම්වලින් පිරී තියෙනවා. මේක පරම්පරාවෙන් එක රෝගී තත්ත්වයක් කියල⁣ා තමයි සඳහන් වෙන්නේ. පාසලේ සිසුන්ගේ කරදර ඉවසගන්න බැරිම දවසක ඔහු දෙමව්පියන්ට කිව්වලු මට මේකට කොහොමහරි විසඳුමක් හොයලාදෙන්න කියලා. නමුත් රැල්ෆ්ගේ ප්‍රශ්නයට මව්පියන්ටත් විසඳුමක් තිබුණේ නැහැ. ඔවුන් කිව්වේ ලස්සන කියන දේ තියෙන්නේ පිටත පෙනුමට නෙවෙයි ඇතුළාන්තයෙන් යනුවෙන්. කෙසේ වෙතත් දුක් කම්කටොළු අතරින් ඔහු අවුරුදු 19 වනවිට නිරූපණ ක්ෂේත්‍රයට පැමිණියා. මුල් දවස්වල කෙනෙහෙලිකම් හා විවිධ අයගේ සිනහවට ලක්වීමට ඔහුට සිදුවෙලා තියෙනවා. නමුත් වර්තමානය වනවිට විටෙන් විට ජනප්‍රිය වීමත් සමඟ ට්විටර්හි රැල්ෆ්ට මිලියන දහයක පමණ ෆලෝවර්ස්ලා ඉන්නවලු.

Khoudia Diop

Khoudia Diop

ක්ලව්ඩියාගේ වයස විසි තුනයි. ඉපදුණේ ස්ලොවැකියාවේ. ඇයගේ මුහුණේ පැහයත් කොණ්ඩයේ පැහැයත් කිසිදු වෙනසක් නෑ. ඇයට තිබෙන්නේ අනෙත් කළු පුද්ගලයන්ට වඩා අසාමාන්‍ය කළු පැහැයක්. මව්පියන් හැර අනෙක් සියලු දෙනා ඇයව ඇමතුවේ කළු කෙල්ල යනුවෙනුයි. නමුත් ඇය කිසිවක් කනකට ගත්තේ නැත. අැය නිහඬව සියල්ල දරාගෙන ඉන්නවා. වයස 18දී ජීවිතයේ අනාගතය සැලසුම් කළාය. නිරූපිකාවක් වීමට කැමති යැයි දෙමව්පියන්ට කීවාය. නමුත් ඇයගේ පෙනුම හේතුවෙන් එම ක්ෂේත්‍රයේ ඇයට අවස්ථාවක් නොලැබෙන බව දැනගත් මව්පියන් එකපාර ඇයගේ හිත නොරිද්දා පැවසුවේ එම ක්ෂේත්‍රයේ ඔවුන්ගේ පවුලට හා සංස්කෘතියට නොගැලපෙන වෘත්තියක් බවයි. නමුත් ක්ලව්ඩියා පැවසුවේ නෑ මට හැමෝම විහිළු කරනවා කළුයි, කැතයි කියලා. මම යන්නේ මේ ක්ෂේත්‍රයටම තමයි යනුවෙන්. ඇයගේ පළමු ඔඩිෂන් එක දවසෙදී ඇය කැමරාව ඉදිරියට ගිය විටදී කැමරා ශිල්පීන් ද ඇයට හිනාවෙන්න ගත්ත⁣ා. සඟරා වෙනුවෙන් ඔඩිෂන්වලට ගියාම ඇතුළටවත් යන්න ඇයට ඉඩ දීලා නෑ. නමුත් අද වනවිට ඇය ඉතා සාර්ථක මෝස්තර නිරූපිකාවක්. ඇයටම වෙන් වූ විශේෂිත රසික රසිකාවියන් රැසක් ඇයට ඉන්නවා. ට්විටර් එකේ මිලියන පහකට අධික සංඛ්‍යාවක් ෆලෝවර්ස්ලත් ඉන්නවලු.

සම්මුඛ සාකච්ඡා හමුවේ නිවේදකයන් ඇයගෙන් ඔබට තියෙන්නේ අසාමාන්‍ය පෙනුමක්. ඉතින් මේ පෙනුමත් එක්ක ඇයි මේ වගේ ක්ෂේත්‍රයකට එන්න හිතුවේ යැයි කියලා ඇහුවොත් ඇය සැමටම පවසන්නේ මගේ මේ පාට වෙන කිසිම කෙනකුට නැති පාටක්. ඉතින් මම හිතුවේ මට ලැබුණු මේ අසාමාන්‍ය පාට මුළු ලෝකෙටම පෙන්නන්න ඕන කියලා. ඒ අාත්ම විශ්වාසයත් සමඟ ඇය අද ලෝකයම දිනාගෙන අවසන්ය.